sri express

සටහන: චන්දන ගුණසේකර

ඒ පසුගිය සෙනසුරාදාවේ සැන්දෑ යාමයයි. මම විසල් රඟහලේ අසුනකට බරදී තේජාන්විතව වැජඹුණු වේදිකාව දෙස කුරුමිට්ටකුසේ බලා උන්නෙමි. මද අඳුරේ ඈතින් ඇසෙන බෙර හඬට සිත් සේ සැරිසරන්නට මගේ දෙසවනට ඉඩදී දෑස් පියාගත්තේ අවට දසුනින් මගේ ශ්‍රවණයට යන්තමින් හෝ බාධාවක් වේයැයි බියවූ නිසාය. මොහොතක් දැහැන්ගතව උන් මම දෑස් විවර කළේ ඒ අඩ අඳුරින් අවට වැසී ගත් ශාලාව ඉදිරිපිට තිබූ විසල් වේදිකාව දෙස නෙත් යොමමිනි. මා සිටියේ සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි ඉංදියන් සාගරයේ මුතු ඇටය වූ අප ශ්‍රී ලංකාද්වීපයේ ශ්‍රී විභූතිය විඳ ගැනීමේ නිමේෂයක අභිමුවය. එනම් " දෝංකාර" නම්වූ ඒ සංස්කෘතික කළාමංගල්‍යයේ පහස විඳගැනීමේ ඇරඹුමේය.

එදා කන්ද උඩරට, සබරගමුව, රුහුණු පුරවරය, උතුරුකරය හා වන්නි හත්පත්තුවේ වැව් බැඳි රාජ්‍යයේ සුවඳ මට දැනිණි. ඔවුන්ගේ ජීවන ගීතය මට ඇසිණි. වේදිකාව පසුබිමින් වූ විසල් තිරයේ දැක්වුණු පසුබිම් දර්ශන මගේ ඒ හැඟීම් දෙගුණ තෙගුණ කිරීමට සමත් විය.

බුදුන්ගෙන් හා දෙවියන්ගෙන් අවසරගෙන , පූජා නැටුමකින් ප්‍රසංගය ඇරඹිණි. ලංකාවේ එක් එක් පළාතට ආවේණික වූ නැටුම් විශේෂයන් හා ඒ ඒ නැටුමට යොදා ගන්නා බෙරවර්ග ගැන විස්තරය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළේ නාට්‍යානුසාරයෙනි. එය ඉතා අපූරු නැවුම් අත්දැකීමක් නරඹන්නන් වෙත ගෙන ඒමට සමත්වූ බව මගේ හැගීමයි.

විදේශික කාන්තාවක සමඟ දිවයින පුරා සංචාරය කරන ඇයගෙ මිතුරු ශ්‍රී ලාංකිකයකු හා ඇය අතර ඇතිවන සංවාදය මාර්ගයෙන් අපට ඒ ඒ නැටුමේ විස්තරය හා එය කොයි පළාතට විශේෂිත වූවක්ද යන්න ඉතා පැහැදිලිවම ගෙන ඒම අගය කළ යුතුය. මෙහිදී ඉදිරිපත් කෙරුණු උඩරට නැටුම් , සබරගමු නැටුම්, උතුරුකරයට ආවේණිකවූ දකුණු ඉංදියානු ආභාෂිත භාරතීය නැටුම්, රුහුනුකරයේ පහතරට නැටුම්, නුවරකලාවියේ රජරටට ආවේණික නැටුම් හා ශාන්ති කර්ම ප්‍රේක්ෂක මනදොළ සන්තර්පනය කිරීමට සමත්විය.

එංගලන්තයේ ජීවත්වන සහෝදර නර්ථන ශිල්පීන් හා ශිල්පිනියන් නැටුමින් හා බෙර වාදනයෙන් වොට්ෆඩ් පුරවරයේ කොලොසියම් රංග ශාලාව අපේ ලංකාවටම ආවේණික වූ ජන සංස්කෘතික අංගයන්ගේ ප්‍රතිභාවෙන් ඹකඳ කළහ. එහි අපේ කම හා අපේ ජීවන සුවඳ විහිදුවාලූහ. ඔවුන් සියලුදෙනාටම අපගේ ප්‍රණාමය හිමිවිය යුතුමය.

එම විදේශීක කාන්තාව අපේ රට පුරා ඇවිද මේ සංසකෘතික අංග සියල්ලම දැක බලා ඉතාමත්ම සතුටට පත්ව ඒ නැටුම් උත්සවයක් එංගලන්තයට ආපසු ගියපසු පවත්වමියැයි අදිටන් කොට ලංකාවෙන් සමුගන්නා ජවනිකාවෙන් සංදර්ශනයේ ප්‍රථම භාගය නිමාවට පත්විය.

විවේකයෙන් පසු ඇරඹි ද්විතීයභාගය සංදර්ශනයේ කූටප්‍රාප්තිය වූවායැයි කියූවොත් නිවැරදිය. එහිදී රඟ දැක්වූ " තෙල්මේ නැටුම" , සළු පාලිය", " නොන්චි කෝලම" ආදි අංග පැමිණ සිටි ප්‍රේක්ෂක ප්‍රජාව අමන්දානන්දයට පත්කිරීමට සමත් විය.

දහඅට සන්නියේ එක් ශාන්තිකර්මයක් රඟ දැක්වූ අතර එහිදී ඇසුණු යක්බෙර නාදය මා ඈත ගම්මානයක පැවති බලි තොවිල් පලකට රැගෙන ගියේ මටත් හොරාය. මා මෙන්ම එවෙලේ මුළු ශාලාවම හදවතින් සිටියේ ලංකාවේ තොවිල් පලක බව ඔවුන්ගේ මුහුණු වලින්ම මට පෙනිණි. ඒ නැටුම් හා වැයුම් ඔවුන් කෙතරම් නම් ජව සම්පන්නව කළාද කියතොත් ඒ විසල් ශාලාව ඒ බෙර නාදයෙන් හා ඔවුන්ගේ අත්පා ලෙලදුන් නාදයෙන් ගිඟුම් දුනි. දෝංකාර දුනි.

ඉංදියානු සම්භවයේ බෙර විශේෂයක් වයමින් ඉදිරිපත් කළ සංදර්ශනය හා ලංකාවටම ආවේණික වූ ගැට බෙර, යක් බෙර, තම්මැට්ටම් හා දවුල් වයමින් කළ සංදර්ශනයද නරඹන්නන් කුල්මත් කිරීමට සමත් විය. ප්‍රේක්ෂක ප්‍රීති ඝෝෂා නාදයෙන් ශාලාව ගිඟුම් දුන්නේ වැයෙන කන්කලු බෙර නාදයද පරදාය. එමෙන්ම සංදර්ශනයේ ද්වෘතීය භාගයේ නිවේදන කටයුතු කළ නිවේදක මහතාගේ ඉදිරිපත් කිරීමේ හා බස හැසිරවීමේ හැකියාව අගය කළ යුතුය.

මහා අභිමානයක් , ශ්‍රී ලාංකිකයන් වූ අපගේ සිත්වලට කාන්දු කරමින් හා එදා ලංකාවේ අප දුටු හා ඇසු මේ සාම්ප්‍රදායික සංස්කෘතික අංගයන් නැවතත් අපට මතක්කරදෙමින් හා පැමිණවුන් විදේශිකයින් මවිතයට පත්කරමින් පුරා හෝරා දෙකකටත් වැඩි කාලයක් නිම්නාද නැංවූ දෝංකාර ප්‍රසංගයේ අවසානය එම උත්කෘෂ්ට බෙර වැයුම් සංදර්ශනයත් සමඟම අවසන් වූවේ අපගේ නෙතු අගට සතුටු කඳුළක් නංවමිනි.

සියල්ල මෙසේ ඉතාමත්ම සාර්ථකව සහ උත්කර්ෂවත් අයුරින් සිදුවූ අතර සංදර්ශණයේ ප්‍රථම භාගයේ සංචාරක කාන්තාව සහ ඇයගේ ලාංකීය මිතුරා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ සිදුවූ යම් වැරැද්දකි පිළිබඳව අකමැත්තෙන් වුවත් මට සදහන් නොකරම බැරිය. ඒ, මෙම සටහන ලියන අනුරාධපුරයේ උපන් මම ඒ අතපසුවීම නොදැක්කා සේ සිටියහොත් , මම මගේ උපන් ගමට කරන්නා ද්‍රෝහිකමක් මෙන්ම ඒ මොහොතේ ශාලාවේ වුන් බහුතරයකගේ ලේවලටම බද්ධවී ඇති සාර්වකාලීන සත්‍යක් වසන්කිරීමක්ද වන බැවිනි. මෙය සඳහන් කිරීමෙන් මේ මහා පෙළහරේ අභිමානයට අබමල් රේණුවක තරම්වත් අපහාසයක් නොවන බවද මම දනිමි.

එය වේදිකා පසුබිම් අලංකාරයට පිංතූර සැපයූ තැනැත්තාට වූ වරදකි. අනුරාධපුරය ගැන සඳහන් කිරීමේදී පසුබිමින් වැටුණේ තිස්සමහාරාමයේ පිංතූරයකි. එවෙලේ අනුරාධපුරය ගැන කතා කරන්නට පුහුණු වී හා ඒ සූදානමින් තම විදේශීය මිතුරිය සමඟ වේදිකාවට ආ ලාංකික තරුණයා එම චෛත්‍ය පෙන්වා ,රුවන්වැලිසෑය ගැන කියන්නට පටන් ගති. ඔහුට හැර ප්‍රේක්ෂක සැමටම සිදුවූ වරඳ තේරුණි. එක අතකට ඔහුටද වරඳක් කීමට බැරිය. මන්ද අමන දේශපාලුවන් විසින් මිරිසවැටිය විනාශ කොට නැවත සුදු හුණු ගා තැනූ නූතන ඊනියා මිරිසවැටිය දුරසිට දකින්නකුට සහ අනුරාධපුරයට පළමුවරට ගිය කෙනෙකුට , රුවන්වැලිසෑය සමඟ පැටලෙන සම්භාවිතාවය වැඩි බැවිනි. කෙසේ වෙතත් ඒ පුංචි වරද අමතක කළ විට එදා නැංවූ ඒ අපගේ පාරම්පරික කලාඋරුමයේ දෝංකාරය අපගේ හදවත් තුළ සදාකල්හිම සනිටුහන්වී දෝංකාර දෙන බව නම් ඒකාන්තය.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
සටහන: චන්දන ගුණසේකර

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction