sri express

මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි ඉන්දියාවේ පිහිටි බුද්ධගයාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ අපවත්වී  තෙමසක් ගතවීම නිමිත්තෙන් උන්වහන්සේටත් මහමෙව්නා අසපු සංචිතයේ සමීපතම දායකයෙක්ව සිට ඔක්තෝම්බර් මාසයේදී අභාවප්‍රාප්තවුන ගාමිණි සිල්වා මහතාටත් පින්පතා දානමය පින්කමක් ලන්ඩන් නුවර මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා අසපුවේදී පවත්වනු ලැබිය.

බ්‍රිතාන්‍යයේ මහමෙව්නා ශාඛාවන් 5 ක වැඩසිටින භික්ෂුන් වහන්සේ හත්නමක් සමඟ දායක දායිකාවන් බොහෝ පිරිසක්ද පිංකම සඳහා සහභාගී වුහ.

කුසලචිත්ත ස්වාමීන් වහන්සේ අවුරුදු අටක් පමණ කාලයක් ඉන්දියාවේ වැඩ වසමින් අති දක්ෂ අයුරින් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වුහ. අපවත් වන විට තිස්දෙවන වියේ පසුවූ උන්වහන්සේ බොහෝ දුෂ්කරතා මැද මේ කාලය තුළ ඉන්දියාවේ ධර්ම ප්‍රචාරය තුළිනුත් පුදපූජාවන් තුළිනුත් සමාජ සත්කාර තුළිනුත් ඇති විශාල සේවාවක් ඉටුකිරීමට සමත්වූ විනයගරුක ශික්ෂාසම්පන්න ධර්මධර හිමිනමකි.

කුසලචිත්ත හිමියෝ ශ්‍රී ලංකාවේ සිට දඹදිව බුද්ධ වන්දනාවේ ගිය බොහෝ පිරිසකට සිත සතුටින් බුද්ධගයා පින්බිම වන්දනා කරගැනීම සඳහා විවිධ කාරයෙන් උදව් උපකාර කල, බුද්ධ ගයාන් මහමෙව්නාව අසපුවේ සිට අවට ජීවත්වූ විවිධ ආගමික විශ්වාසයන් දරමින් ඉන්නා ලොකු කුඩා බොහෝ පිරිසක්වෙත ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් පෙන්වාදුන් මාර්ග පිළිවෙත් තුලින් ලබාගත හැකි චෛතසික සහනයන් පිලිබඳ අවබෝධයක් ලබාදීම සඳහා දිවා රාත්‍රී නොබලා වෙහෙස මහන්සිවූ තරුණ භික්ෂුන් වහන්සේ නමකි.

උන්වහන්සේ බුද්ධගයා පින්බිම ආසන්නයේ පිහිටි බුදුන් වහන්සේ පරිහරණය කල බොහෝ පුන්‍යස්ථාන පිළිබඳව සොයා බලා ඒවායේ විස්තර හෙළිදරව් කිරීම සඳහාත් එම ස්ථාන සුරක්ෂිත කර ගැනීම සඳහාත් විශාල සේවයක් සිදු කළහ.

හින්දි භාෂාව ඉතා හොඳින් පරිහරණය කිරිමෙහි හැකියාවක් තිබු උන්වහන්සේ බුද්ධගයාන් අසපුවේ ඉන්දියානු දුවා දරුවන් සහභාගීවන දහම් පාසලක් පවත්වාගෙන යාම සඳහාත් කටයුතු කළහ.

එහි ළමුන් 1400 ක් පමණ දහම් අධ්‍යාපනය ලබති. ශ්‍රී ලාංකික පින්වතුන්ගේ නොමද උපකාරයෙන් පවත්වනු ලබන මෙම පාසැල තුල සෑම ආගමකම දූ දරුවන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සීල, සමාධි, ප්‍රඥා ගුණ දහම් පුරුදු කරති.

කුසලචිත්ත හිමියෝ බුද්ධගයා පින්බිම අවට බොහෝ ගම්මාන වෙත වැඩම කරමින් ඒවායේ ජිවත්වන පිරිස් වෙත ධර්ම දේශනා පැවැත්වීමටත් බුදු දහම පිළිබඳව නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කරවීමටත් එම මිනිසුන්  දෛනිකව මුහුණ දෙන ප්‍රශ්න සාකච්චාකරමින් ඒ සඳහා ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය පිළියම් සපයාදිමටත් වෙහෙස මහන්සිවී කටයුතු කළහ.

නිර්මල බුදුදහම බුදුන් වහන්සේ පහලවූ පින් බිමට නැවත හඳුන්වාදීම උදෙසා අනුපමේය සේවාවක් ඉටුකළ කුසලචිත්ත හිමියන්ටත් මහමෙව්නා අසපු සංචිතයේ වත්මන් පොදු ජනප්‍රසාදය බිහිවීම උදෙසා සිය කාලය සහ ශ්‍රමය කැමැත්තෙන් වැයකළ ගාමිණී ද සිල්වා මහතාටත් පින් පැමිණවීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවත් මහමෙව්නා අසපු ශාඛාවක් ලන්ඩන් නුවර ස්ථාපිත කරවීම උදෙසා වෙහෙසකරවූත් දුෂ්කරවූත් ක්‍රියාවලියේ පෙරගමන් කරුවෙකු වූ ගාමිනී ද සිල්වා මහතාගේ අකල් මරණය මහමෙව්නා අසපු සංකීර්ණයේ වැඩකටයුතු වලට සිදුවූ බලවත් පාඩුවක් බවත් පින්කමෙහි පුන්‍යානුමෝදනාව පැවැත්වූ පුජ්‍ය කටුනේරියේ ධම්මදේව හිමියෝ පැවසුහ. 

ගාමිණී ද සිල්වා මහතාගේ අකල් මරණය පිළිබඳව පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නිකුත්කළ නිවේදනයෙහි මෙලෙස දැක්වෙයි.

"2015 ඔක්තෝම්බර් 11 දහවල් මා හමුවී ඉතා ප්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන්වූ වග කිසිවෙක් නොදත්තේය. හදිසියේ ම හටගත් හෘදයාබාධයකින් ඔබ සැණෙකින් මනුලොව අත්හැර දෙවියන් අතරට ගියේ ය.

පෙර සසරේ ආ බැඳීමකින්දෝ, මා හමුවන්නට ඔබ ආ දා සිට ඔබ මගේ සැදැහැවත් ම දායකයා විය. මගේ හිතාදරම කැපකරුවා විය.මගේ ළබැඳි ම මිතුරා විය. චතුරාර්ය සත්‍ය ධර්මයට අසීමිත ලෙස ආශා කළ ඔබ අප භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්මය ඔබ සමඟ කියද්දී කුඩා දරුවෙකු සෙයින් සවන් දී සිටියේ ය. ඒ දහම අසා සතුටින් ඉපිල ගියේ ය. තුනුරුවනට දිවි පුදා දහමෙහි හැසිරුණේ ය. නිර්මල බුදු දහම පතුරුවන්නට මහත් සේ ආශා කළේය. භාග්‍යවතුන් වහන්සේගේ සාම සංදේශය රැගෙන මා නන්නාඳුනන රටවලට යද්දී ඒ හැම වතාවේම ඔබ මට සුවය සැදූ සෙනෙහෙබර සෙවණැල්ල විය. වරක් ඔබ මට මෙසේ කිව්වේ ය. “ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ඇතැම් අවස්ථාවලදී මට ‘ගාමිණී’ නමින් පමණක් අමතද්දී ‘ගාමිණී මහත්තයා’ කියනවාට වඩා එය මට ගොඩාක් සමීපයි.”

ඔබේ හදවතේ උතුරා දෝර ගලා පිටාර ගිය ආදරයට, කරුණාවට, දයාවට, මිනිස්කමට ජාති, කුල, ආගම් කිසිවක් බාධාවක් නොවීය. සුවඳ හමනා මලක් සෙයින් මිනිසත් බවෙහි සුවඳ ඔබෙන් හමා ගිය බව සත්තයි. මනුලොව ඉටු දෙවියෙකු සේ මා ළඟ සිටි, මගේ අදරැති ගාමිණී දැන් ඔබ දෙවියන් අතර ඇතුවාට මා හට සැක නැත. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ඇති තරම් පින් නෙළා ගන්නට ඔබ ලද මිනිස් දිවිය ප්‍රමාණවත් විය ඔබ හට එනිසා මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!"


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction