නූතන ළමා ගීතය හා මගේ දැක්ම

ගීතය නැමති කලාංගය ශ්‍රී ලාංකීය සාහිත්‍යයට එකතු වූ නව රසාංගයකි.ගීතාත්මක කාව්‍යකට තනුවක් යොදා ඊට අනුරූපව සංගීත නාද සංයෝජනය කොට මිනිස් හඬින් ගායනා කිරීම ගීතය යන්නෙන් සරලව හඳුනා  ගනු ලැබේ. එකී ගීතය ශ්‍රී ලංකා පොළොව මත ගෙවා ඇති ආයු කාලය මේ වන විට පෘථවි වර්ෂයෙන් එක් සියයකට අඩු වෙතත් වැඩි නොවේ. එබැවින් සිංහල ගීතය අනෙකුත් කලාංගයන්ට සාපේක්ෂව එතරම්ම මෝරා වැඩුණු සාහිත්‍යාංගයක් යැයි පැවසීම අසීරුය. ඊටත් අඩු ආයු කාලයක් ගෙවා ඇති තාමත් හරි හමන් අවධානයක් යොමු නොකළ (අධ්‍යයනයක් නොකළ) තැනින් තැන හැදෙමින්, වැඩෙමින් ඉබාගාතේ යන ළමා ගීතය මා පිය භාර කරුවන් අහිමි අසරණ අනාථ දරුවෙකු සේ අයාලේ වැඩෙයි. මේ ලියමනේ මුඛ්‍යාර්ථය ළමා ගීතයේ ඉතිහාසය පිරික්සීම නොව, එබඳු දුර්භාග්‍ය සම්පන්න ඉතිහාසයක් ඇති සිංහල ළමා ගීතයට නූතන සමාජයේ ඇති ආස්ථානය පිළිබද කෙටි පිළිසඳරක යෙදීමය.

බ්‍රිටෙනිකා නම් ඉංග්‍රීසි විශ්වකෝෂය ගීතය අර්ථ දක්වන්නේ “ගීතය යනු ගායනය වූ හෝ ගායනය සඳහා සුදුසු  පද මාලාව‍’’ යනුවෙනි. (A verse or poem that is, or supposedly is, susceptible of being sung to the accompaniment of a musical instrument [in ancient times, usually a lyre] or that expresses intense personal emotion in a manner suggestive of a song.) පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ  සංසාරේ අපිගීත එකතුවට සුභාවිත ගීතය යන හිසින් ලිපියක් ලියන ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන් එම ලිපිය අරඹන්නේ මෙලෙසිනි. ‘’ගීතය ඒකාන්ත වශයෙන්ම ගායනය සඳහාම නිර්මාණය වන ගායනය තුළින්ම අනාවරණය වන අනිවාර්යයෙන්ම සංගීතමය අද්දැකීමක් ලෙස රසිකයන් අතරට යන කලා මාධ්‍යයයක්.කිසියම් හැඟීමක් මිනිස් සිත තුළ පහළ වූ විට ඒ හැඟීම දැනවීමට ලිඛිත රූපයකට නැංවීමට පෙර හුදෙක් ගායන මාධ්‍යය තුළින්ම ප්‍රකාශ කරන කාව්‍ය විශේෂයක් තිබුණා උදාන කාව්‍ය කියල. ප්‍රාථමික මිනිසා විවිධ විශ්මිත හැඟීම් වලින් උද්දාමයට පත්වූ අවස්ථාවල නටමින් හා නොයෙක් අයුරින් ඒ හැඟීම් ප්‍රකාශ කරමින් ගායනා කළා. ගායනය සඳහාම වූ මේ කලාංගය ගීතයේ මුල් රූපය හැටියට හඳුන්වන්න පුළුවනි. ගීතය සංගීතය නම් මහා වෘක්ෂයේ එක් ශාඛාවක් පමණයි. සාහිත්‍ය වැළඳගන්නා සංගීත ශාඛාව ගීතයයි. සංගීතයට ගෝචර පරිදි මෙය වැළඳගතයුතුයි. එවිට සංගීතයෙන් ශික්ෂිත වූ සාහිත්‍යය ගීතයක් බවට පත් වෙනව. (Poetry which is disciplined by music is the art of song)’’උක්ත කියනමනට අනුව ගීතය නම් මේ යැයි අදහසක් ඇති කර ගත හැකිය. එබැවින් ළමා ගීතය ද ඒ මිණුම අතික්‍රමණය නොකරයි. ළමයා උදෙසා ලියන ගීතය, ළමයා විසින් ගයන ගීතය ළමා ලෝකය ස්පර්ෂ කරන ගීතය ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළමා ගීයක් සේ සරලව සැලකිය හැකිය. පූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද හිමියන්ගේ කුරුළු පාළුව නැමැති ළමා ගී පොතට ‘අපේ ළමා ගීත සාහිත්‍යය යන හිසින් පෙර වදන ලියන ප්‍රවීණ ගී පද රචක මහින්ද චන්ද්‍රසේකර මෙසේ පවසයි. ‘‘ළමයින් සඳහා ගීත රචනා කිරීම  කටයුත්තක් විය නොහැකිය. ළමා මනසට ගෝචර වන සංකල්ප හා වර්ණ ප්‍රවේසමින් තෝරා බේරා ගනිමින් ඔවුන්ගේම බසින් ඔවුන්ගේ ලෝකය නිර්මාණය කළයුතු වේ. ළමා ලොවට හිමි ධ්වනි සම්පත් විරිත් සහ ක්‍රියාකාරකම් තුළින් ළමයින් හා අත් වැල් බැඳ ගැනීමට රචකයාට සිදු වේ.’’  ඒ කියමන අනුව ළමා ගීය ස්පර්ෂ කළයුතු ඉසව් පිළිබඳ ඉඟියක් ලබා ගැනීම එතරම් අසීරු නොවේ.

කිනම්, සාමාජීය තාක්ෂණික හා කාලීන පෙරළි හමුවේ වුවද ළමයින්ගේ ලෝකය එතරම් ශීඝ්‍ර වෙනසකට ලක් නොවේ. එනම් ළමා ලොව වෙනස් වන්නේ ඉතා සෙමින්ය. ඊට සාපේක්ෂව වැඩිහිටියන්ගේ ලෝකය අති ශීඝ්‍රයෙන් විවිධ වෙනස්කම්වලට භාජනය වේ. ළමා ලෝකයේ ඉර, හඳ, තරු, මල්, කුරුල්ලන්, සමනලුන් හා නෑ හිතවතුන් ද ගුරුතුමී, පාසල හා සෙල්ලම් බඩු ද තාමත් පෙර සේම නො වෙනස්ව පවතී. එදා දරු සිඟිත්තා දුටු ඉර හඳට වඩා වැඩි වෙනසක් අද සිඟිත්තා දකින ඉර හඳ දෙකෙහි නොමැත. මල් සමනල්ලු ගැන ද විස්තර එසේමැයි.

කරුණු එසේ හෙයින් මහින්ද චන්ද්‍රසේකරයන් සඳහන් කලාක්මෙන් ළමුන්ට ලිවීම හෝ ළමුන් උදෙසා ගැයීම අතිශයින්ම අභියෝගාත්මක කාර්යයකි. එය ළමුන්ට ගැලපෙන මොනවා හරි දෙයක් සරල භාෂාවෙන් ලියනවාට කියනවාට වඩා එහා ගිය ශාස්ත්‍රීය ශික්ෂණයකින් කළ යුතු වූද මහත් වගකීමකින් වගවිය යුතු වූද භාර දූර වූ උත්තුංග කාර්යයකි. එහෙත්, මෙකී කාරණා අද බිහිවන ළමා ගීයෙන් ඉටු වන්නේද? ඇරත් එබඳු ළමා ගී අද බිහිවන්නේද?

ළමයා යනු කුඩා මිනිසෙකු නොවේ. (Child is not a miniature man) ඔහු පූර්ණ මිනිසෙකු වීම සඳහා සූදානම් වන නොමේරූ මිනිස් ජීවියෙකි. ඔහුගේ ලෝකය අද්දැකීම් වලින්, දැණුමෙන් හා ආලක්ප වලින් නොදියුණුය. නොපොහොසත්ය. ළමයා ලොව දකින්නේ වැඩිහිටියාට වඩා හාත්පසින්ම වෙනස් වූ ආකාරයකටය. එය සොඳුරුය, නැවුම්ය, ආගන්තුකය, බැහැරින් එන ආගන්තුක උපක්ලේශයන්ගෙන් මිදුණේය. එබැවින් එය ප්‍රභාශ්වරය. එහෙත්, කල්යත්ම ඔහු සංස්කෘතික හා සාමාජීය වශයෙන් ක්ලේශ වසඟව අනුන් හා සමව සිතීමට පුරුදු පුහුණු වී හැදුණු වැඩුණු මිනිසෙකු වෙයි. වැඩිහිටියා විසින් කරනු ලබන මහත් අපරාධය නම් මේ ළපටි දරුවා ස්වාභාවිකව සෙමින් මෝරා වැඩෙන තුරු නොසිට ඔහුගේ මනසට නොදැරිය හැකි තරමේ ඉගෙනුම් ඉලක්ක හා නොසරුප් ආදර්ශ ලබා දී ඔහුගේ ඒ ළමා ලෝකය අකාරුණික ලෙස ආක්‍රමණය කිරීමයි. වැඩිහිටියා සතු විඩිහිටි දැනමුතුකම් ළමයාට කියා දීම කිසිසේත්ම අපරාධයක් ලෙස මින් අදහස් නො කෙරේ. ඔහු ඥානනය කිරීම හා හොඳ නරක කියාදීම වැරදි ක්‍රියාවක් ද නොවේ. ගුණ දහම් ප්‍රගුණ කරවීම කිසිසේත්ම අකටයුත්තක් ද නොවේ. එහෙත්, එහි නිසි මාත්‍රාව හඳුනා නොගැනීම මෙහි මහත් විනාශයට මුල වී තිබේ. ළමයා නිසි ලෙස හඳුනා නොගෙන ඔහුට කළ යුතු නොකළයුතු දේ බලහත්කාරයෙන් කියා දී ඔහු තිරිහන් කිරීම ළමා අධ්‍යාපනයනොවේ. (Education is not teach what to do, but after learning he knows what to do) ඉගෙනුම යනු කළයුත්ත කියා දීම නොව කළයුත්ත නොකළයුත්ත හදුනා ගැනීම සඳහා කියා දීමය. එහෙයින් ළමා ගී පද රචකයා පෑන අතට ගත යුත්තේ මේ කරුණු හරිහැටි අවබෝධ කරගෙනය. එසේම ගීතය මඟින් උපදෙස් දීම, ඉලක්ක පෙන්වීම, ආදී සාම්ප්‍රදායික ගීත වට්ටෝරුවලට සීමා නොවී ළමා ගී රචකයා කළයුත්තේ ළමා රස මනස පෝෂණය කොට එකී ළමා මනසේ රසභාව රසාලිප්ත ගී මඟින් සංතර්පණය කිරීමය.

ඒ මඟින් ළමයාට යා යුතු නොයා යුතු මඟ, කළ යුතු නොකළයුතු දේ තමා විසින්ම තොරා බේරා ගනු ලැබීමට ඉඩ හසර විවර කර දිය යුතුය. එහෙත් අද බිහි වන බොහෝමයක් ළමා ගීත මතු නොව, අනෙකුත් කලා නිර්මාණ වලින් හා නූතන ප්‍රතිසංස්කරණ වාදී අධ්‍යාපනයෙන් සිදුවන්නේ වැඩිහිටියා ඔහුට අවශ්‍ය තැනට ගොස් ළමයා එහි ඇරලවීමය. මෙසේ තමා එගොඩ ගොස් අනෙකා ඇරලවීමේ කලාව ඉඳ හිට හොද විය හැකි වුවත්, එය හොදම කලාව නම් නොවේ. මඟ නොමඟ කියා දී යන හැටි බලා හිඳ දරුවාට පසුපසින් ගොස් ඔහු ලොව දිනන තැනට කටයුතු කිරීම වඩාත් ප්‍රශස්ත කලාව යැයි සිතමි.

එදාට සාපේක්ෂව අද ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවින් පිරිපුන් ළමා ගී බිහිවනු දක්නට නොලැබේ. එබඳු ගීයක් දෙකක් කලාතුරකින් බිහිවෙතත් එසේ ඉඳහිට බිහිවන ළමා ගීයකටවත් අද ජනප්‍රිය මාධ්‍යය මඟින් වෙන් කොට ඇති ඉඩ ප්‍රශ්න කළයුතුය. ඇතැම් විද්‍යුත් මාධ්‍ය නාළිකා හැසිරෙන්නේ මුළුමනින්ම ළමුන් නැති රටක ජීවත් වන්නාක් මෙනි. එබඳු රටක වැඩෙන ළමයින් වැඩිහිටියන්ට සුදුසු දේ ළමා කල සිටම පුරුදු පුහුණු  වීම පුදුමයට කරුණක් නොවේ. ඉඳ හිට හෝ ළමා වැඩසටහනක් ප්‍රචාරය කරන නාළිකා ද ළමුන් සේම බාල බොළඳ තොඳොල් කථා බහට සීමා වී ළමා වැඩසටහන් ඉදිරිපත් කරති. මේ දෙපිරිසම ළමයාට මහත් සේවයක් කරතියි සිතිය නොහැකිය. වැඩිහිටි නිවේදක නිවේදිකාවන් විසින් ඉදිරිපත් කරන සමහර ළමා වැඩසටහන්වලට වඩා ඇතැම් ළමුන් විසින්ම ඉදිරිපත් කරනු ලබන එබඳු ළමා වැඩසටහන් වඩාත් අර්ථවත්ව ඉදිරිපත් කරනු මම අසා ඇත්තෙමි. එම වැඩසටහන් බොහෝවිට නිර්මාණාත්මක බවින් හා සජීවී බවින් අනූනය. එබඳු ළමා වැඩසටහන්හි සාධනීය අංග කෙරෙහි ද වැඩිහිටි අපේ දුර්වලතා කෙරෙහි ද අප සිත් යොමු කිරීම වටී.

කරුණු එසේ හෙයින් ළමා ගීතය අරබයා අප විසින් හඳුනා ගනු ලැබූ පොදු දුර්වලතා කිහිපයක් මඟහරවා ගැනීම සඳහාත් මෙහි සඳහන් කරනු ලැබේ.

·         60/70 දශකවල ලියැවී ජනප්‍රිය වූ ළමා ගී කීපයක අපේ විද්‍යුත් මාධ්‍ය නාළිකා බොහෝමයත් අද සිරවී සිටීම.

·         නව ළමා ගී බිහි වුවත් ඒවායින් ප්‍රශස්ත ගී තෝරාගෙන නූතන මාධ්‍ය ප්‍රචාරණයෙන් වැලකී සිටීම.

·         ළමා ගී ශ්‍රවණය සඳහා නැඹුරුවක් නූතන මාපිය දූ දරු පරපුර කෙරෙහි නොවීම.

·         කියවීම හා රස විඳීම පිළිබඳ පාසල් අධ්‍යාපනයෙන් ප්‍රමාණාත්මක පෙළඹුමක් කරනු දක්නට නොලැබීම.

·         ළමා රසවින්දනය පිළිබඳ නිවැරදි ආකල්පයක් දෙමාපියන් සතු නොවීම.

·         සංයුක්ත තැටි නිෂ්පාදකයින් ළමා ගී පට නිෂ්පාදනයට මැළි වීම.

·         ළමුන් සඳහා පිහිටුවා ඇති වගකිවයුතු ආයතන තම යුග මෙහෙවර මනාව හඳුනා නොගැනීම.

·         කුසලතා පිරි දරුවනට ඒ මග ඉදිරියට යෑමට අවස්ථා විරළ වීම.

·         දක්ෂතා ඇති දරුවන් වෙළඳ සමාජය විසින් මිළට ගෙන ඔවුන්ගේ හැකියාවන් අනර්ථකාරී ලෙස පටු මූල්‍ය අරමුණුවල යෙදවීම.

·         වැඩිහිටියන්ට සාපේක්ෂව ගුණාත්මක ළමා ගී පොත් පුද්‍රණය නොවීම.

මෙහි සඳහන් කොට ඇත්තේ හඳුනා ගත් සීමිත කරුණු කිහිපයකි. මෙබඳු හෝ කෙබඳු අන් කරුණු කාරණා රාශියක් ළමා ගීයේ බිඳ වැටීමට හේතු විය හැකිය. ඒ සියල්ල මෙහි බහාලීම සීරු නොවේ.

තවද සෙල්ලම් භාණ්ඩයක්, ඇඳුම් ආයිත්තමක් හෝ දරුවාට රුචි අහරක් හෝ මිලදී ගැනීමට නොපැකිළෙන දෙමාපියෝ සිය දරුවන් වෙනුවෙන් ළමා සාහිත්‍ය කෘතියක් හෝ ගී තැටියක් මිළදී ගැනීමට බෙහෙවින් පසුබට වන අවස්ථා අප විසින් නිරීක්ෂණ කර ඇත්තෙමු. ඇඳුම් ආයිත්තම් කිසිදා අනුන්ගෙන් ඉල්ලාගෙන තම දරුවන්ට නො අන්දවන දෙමාපියන් තම දරුවන්ට පොත පත හා ගී තැටි පට ණයට ඉල්ලාගෙන දීම ලැජ්ජා වියයුතු කාරණයකි. තම දූ පුතුන්ට වයසට නොගැලපෙන ගීත බලහත්කාරයෙන් ඇස්සවීම යහපත් පුරුද්දක් නොවේ. අතෙකින් අයහපත් දේ අසනවාට බලනවාට වඩා යහපත් දේ ඉල්ලාගෙන හෝ ඇසීම බැලීම වඩා හොඳය. එහෙත්, ඉන් ඒ කෙරෙහි ඇති අපේ දුප්පත් ආකල්ප ගම්‍ය වන්නේ නොවේද?

එහෙයින් ළමා ගීයේ අනාගතය කෙබඳු වෙද්දැයි යන්න වගකිවයුතු සියලු දෙනා විසින්ම සොයා බැලිය යුතු, ඊට ප්‍රතිකාර කළ යුතු යුගය එළඹි ඇතැයි සිතමි. වේගයෙන් පුපුරා යන සංස්කෘතික, ආර්ථික, අධ්‍යාපනික හා තාක්ෂණික ලෝකය හමුවේ අනාගත මානවයාට නූතන මානවයා විසින් ඇසීමට බැලීමට විඳීමට හුරු කරනු ලබන දේ මත මානවයාගේ හෙට දවස තීරණය වනු ඇත.

වෙනස්වන ලෝකය හමුවේ ළමා ගීය ද වෙනස් විය යුතුය. එය එසේමය. එයට තර්කයක් නොමැත. එහෙත්, එහි ආකෘතිය අන්තර්ගතය පිළිබඳ අපේ වගකීම හා වගවීම පිළිබඳ වැඩිහිටියන් වශයෙන් අප සතු යුතුකම හඳුනාගැනීම අත්‍යවශ්‍යය. ළමුන්ගේ කුසට අහර සපයන විට පරිස්සම් වනවා සේම ඔවුන්ගේ මනසට අහර සැපයීමේදී  ද පරිස්සම අවශ්‍යය. මන්ද යත් විෂකාරක මානසික ආහාර ශරීරගත වීමෙන් මානසික රෝග මතු නොව ජීවිත හානි ද සිදුවිය හැකි බැවිනි. පෙර පඬිවරු එය අන්‍යාකාරයකින් මෙසේ කීහ.

සාහිත්‍ය සංගීත කලා විහීන( ශාක්ෂාත් පශු( පුච්ඡ විශාන හීන(

තෘණං න ඛාදන්නපි ජීවමාන( තද්භාගදේයං පරමං පශූනං

 

(සාහිත්‍ය සංගීත කලා පිළිබඳ අවබෝධයක් නැති තැනැත්තා තිරිසන් සතෙකුට සමානය. ඔහු තණ කොල නොකන්නේ ඒ තිරිසන් සතුන්ගේ වාසානවටය.)

පසුව ලියමි.

අප විසින් රචිත ළමා ගී පොතක් හා එම ගී ඇතුළත් සංයුක්ත තුටි යුගළයක් ළඟදීම ඔබ අතට පත් කරන වග සතුටින් දන්වනු කැමැත්තෙමු.‍

ඉහත ශ්ලොකයෙන් පැවසෙන්නාක් මෙන් අපේ මිනිස් දූ පුතුන් මූඪ තිරිසනුන් බවට පත්වීම වලක්වනු සඳහාත්, සුභාවිත රසාස්වාදය තුළින් ජීවිතාවබෝධය ලබාදෙනු සඳහාත් අපගේ එම ළමා ගී කළඹින් ස්වල්ප හෝ උපකාරයක් වෙවායි ප්‍රාර්ථනා කරමි.

කෝන්වැවේ අරියරතන හිමි


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (0 votes)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction