වන දිවි සංහාරය

වන දිවි සංහාරය Photographs by Tissa Madawela

ලෝකය පුරා රට රට වල මාර්තු තුන්වනදා "වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ" දිනය සමරනු ලැබීය.වවිවිධාකාර  සේවාවන් උදෙසා" ලෝක දිනයන් " සමරන කාලයක වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ දිනයක්ද සැමරිය යුතුයැයි එක්සත් ජාතීන්ගේ මහා මංඩලය අනුමත කරනු ලැබුවේ 2013 දෙසැම්බර් 20 වෙනිදාය.

එම දිනය ලෙසට එදා තෝරාගනු ලැබුවේ මාර්තු 3 වෙනිදායි.

ශ්‍රී ලංකාවේද මේ දිනය ඉහලින් සැමරු බව වාර්ථාවිය. අපරටේ වනසත්ව සංරක්ෂණය ආරම්භවුයේ ලෝක ප්‍රජාව වනසතුන් දැකබලා විනෝදවීම අගය කිරීමට වසර දහස් ගණනකට පෙරාතුවය. ක්‍රිස්තු පුර්ව තුන්වන සිය වසේදී මහින්ද මහ රහතන් වහන්සේගේ පැමිණීමත් බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමඟම දේවානම්පිය තිස්ස රජතුමන් විසින් පිහිටුවනු ලැබූ මිහින්තලය අභය භුමිය ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරුණ පළමුවන අභය භුමිය බවට වාර්තාගතවී ඇත.

වර්තමානයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය සඳහාද ශ්‍රී ලංකාවේ වන ජීවී  සම්පතේ විවිධත්වය උපයෝගී කරගනු දකින්නට ඇත. සංචාරක ප්‍රවර්ධන කණ්ඩායම් කියන්නේ දිවයින පුරා රක්ෂිත 100 යකට වඩා ඇති බවයි. මේ අතරේ ප්‍රධාන අභය භුමි පහක් ද අතිරේක වන සත්ව උද්‍යානය එකොළහක්ද ඇති බවත්,  දිවයිනේ භුමි ප්‍රමාණයට සාපේක්ෂිතව අපරටේ ජෛව විවිධත්වය ලෝකයේ බොහෝ රටවලට වඩා  අධික බවද ප්‍රචාරය කෙරේ.

දිවයිනේ හමුවන වන සතුන්ගෙන් 16% මෙන්ම පැළෑටි 23% ක්ද අපරටටම ආවේනික බවත්  ක්ෂීරපායී සත්ව වර්ග 91ක්ද, පක්ෂි විශේෂ 433ක්, තල්මසුන්, ඩොල්ෆින් වැනි විශාල ප්‍රමාණයේ මත්ස්‍යයන්ද ශ්‍රී ලංකාවේ දී දැකගත හැකිවන බව ප්‍රචාරය කෙරෙයි.

ක්ෂීරපායී සතුන් අතරේ අලි ඇතුන්, වලසුන්, දිවියන්, වල් මීහරකුන්,ගොනුන්, මුවන් සහ වඳුරන් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගන්නා සත්ව විශේෂ වෙති. පක්ෂීන් අතර වර්ග 20ක් ශ්‍රී ලංකාවටම ආවේනික වෙති. 233ක් ලංකාවේ සැමවිටම දැකිය හැකි පක්ෂීන්ය.

පින්නවල අලි අනාථාගාරය සහ උඩවලව ඇත් අතුරු සෙවන අතරමංවූ හෝ තුවාල ලැබූ අලි ඇතුන් රැකගැනීම සඳහා පිහිටුවන ලද නමුත් අද වනවිටසංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙන ස්ථාන බවට පරිවර්තනය වී ඇත.

කියනකොට එහෙමය. නමුත් කරන කොට සත්ව හා වෘක්ෂ ලතා සංරක්ෂණය කෙතරම්දුරට ක්‍රියාත්මක වනවාද යන්න විවේචනයට තුඩුදෙන කරුණක් බවට පත්වී තිබීම ඉතාමත් කණගාටුදායක කරුණකි.

වන සත්ව සංරක්ෂණ දිනයේදී වල් අලි පැටවුන් දෙදෙනෙකු හොරෙන් තබාගෙන සිටි බවක් හෙළිවිය. එම සතුන්හට වදහිංසා පමුණුවා ඇති බවත් දම්වැල් යොදා අනවශ්‍ය අන්දමට බැඳ තැබීමේ හේතුවෙන් කකුල් පවා තුවාලවී තිබු අන්දමත් වාර්තා විය. වන සත්ව සංරක්ෂණ නිලධාරීන්ගේ භාරයට පත්වූ මෙම සතුන් දෙදෙනාගේ සැප දුක සොයා බලනු වෙනුවට දැන් කෙරෙන්නේ බලෙන් රඳවාගෙන සිටි අයටම ආපසු භාරදීමට හැකි ක්‍රම හා විධි පිළිබඳව සොයාබැලීම බව පරිසර වේදීන් චෝදනා කරති. ඒ අතරේ අනුරාධපුරයේ කපුවෙකු ළඟ තිබී විල්පත්තු අභය භූමියේදී දඩයම් කරන්නට ඇති බවට අනුමාන කෙරෙන දිවියෙකුගේ හමක් පොලිසියට හමුවිය.

මහ මඟ මියැදෙන දිවියන්, අලි ඇතුන් සහ වලසුන් ගැන නිතරම අසන්නට ලැබෙයි. අලුතෙන් නිර්මානයව ඇති වගා ලිං තුලට වැටෙන අලින් ගැනද නිතර වාර්තාවෙයි. 

ආහාර සොයා ගම්වදින අලි ඇතුන් වෙඩි කති, හක්ක පටස් හපාකා විපතට පත්වෙති. ගල්ගමුවේ සැරිසැරූ දලපුට්ටුවාටද වෙඩිතබා ඇත. දුම්රිය මාර්ගය අලි ඇතුන්හට මරඋගුළක්වී ඇත. කැලෑවට ඇද දමන කැලි කසල බුදින සතුන් අකාලයේ මියයති.

හරි හමන් විදුලි වැටක් අටවා ගන්නා සරල තාක්ෂනය තේරුම් බේරුම් කරගැනීම අපේ අයට මහා පරිමානයේ  අවුලක් වී ඇත.

මේවාට අනුමතවන මුදල් කන්දරාව බොහෝවිට බහිරවයෝ කති. එවිට හැදෙන්නේ අලියාටවත් ගැමියාටවත් වැඩකට නැති වැටකි.

ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් ළඟ දිවියන්, වලසුන් සහ අලි ඇතුන් සිටිබවත් වාර්තාවෙයි. කිලිනොච්චි වනාන්තරයේ සිටි එයින් එක් අලියෙකු පින්නවලට ගෙන්වාගෙන ඇති බවද වාර්තාවෙයි.

අද හීලැ අලි ඇතුන් ගත කරන්නේ ඉතාම දුක්ඛිත ජීවිතයකි. කොළඹ පන්සලක මළ ඇතෙකු මිහිදන්කළ තැනම විලංගුලා සිටින ඇත්පැටවෙකු මෙයට හොඳම නිදර්ශනයකි. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමකගේ නමින් බලපත් නොමැතිව ප්‍රවාහනය කෙරුණ අලිපැටවෙකු වනජීවී නිලධාරීන් අත් අඩංගුවට  ගත්තද පසුව මුදා හරිනු ලැබීය.

පින්නවල අලි අනාථාගාරයේ පැටවුන් දේශපාලඥයින් ගෙනයන බවටත් සමහරුන් ළඟ මෙසේ ගෙන ගිය අලි ඇතුන් හය හත ඉන්නා බවත් වාර්තා විය. 

අලියෙකු ලක්ෂ 10 කට අලෙවි කිරීමේ නීති රීති ගෙනෙන බවටද අද කියැවෙයි. මිලදී ගන්නා අලියෙකු තබා ගැනීමට අඩුවශයෙන් අක්කර පහක ඉඩමක් වත් හිමිවිය යුතු බව එම පනතෙහි අඩංගුවන බව වනජීවී ඇමති කියයි. අද හිලෑ අලින් ළඟ තබාගෙන ඉන්නා කිසිම කෙනෙක් එම සතුන්හට නිදැල්ලේ ඉන්නට ඉඩ සලස්වා දෙන්නේ නැත. මේ හැම සතෙකුම ඉන්නේ ගස්වල ගැට ගසා විලංගු දමාය.විලංගු දැමීමේදී යකඩ දම්වැල් කකුලෙහි ගැට ගැසීම නිසා ඇතිවන කැපුම් තුවාල නිසා මේ හැම සතෙකුම සදාකාලිකව  වේදනා විඳියි.

අඩුම වශයෙන් කකුල්වල කැපුම් තුවාල වැලැක්වීම සඳහා දම්වැල වෙනුවට කකුලට ආරක්‍ෂිත එහෙත් ශක්තිය ප්‍රමාණවත් රෙදි පටියක්වත් යොදාගැනීමට අලි ඇතුන් හිමියන්හට පශු වෛද්‍යවරුන් හෝ පරිසර හිතකාමීන් හෝ වනජීවී නිලධාරීන් හෝ මෙතෙක් කාලයක් අවවාද අනුශාසනා කර ඇති බවක් පෙනෙන්නට නැත.

වල් අලි පැටවුන්  මදු දමා අනවසරයෙන් අල්ලා වෙළඳාම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවද වනජීවී නිලධාරීන්ම පිළිගනිති.

අභය භුමි තුල ඇති නවාතැන් පලවල දඩ මස් උයාගෙන කෑ අවස්තාවක් ගැනත් එම දඩමස් සපයන ලද්දේ වනජීවී නිලධාරීන් බවත් පසුගියදා වාර්තා විය. 

වැටත් නියරත් දෙකම ගොයම් කන තත්වයට අද වනජීවී සංරක්ෂණය පත්වී ඇත.

ප්‍රධාන අභය භූමිවල පිහිටි එකම සංචාරක නිවහනක්වත් කෙනෙකුට නැවතීමට සුදුසු ආකාරයකට නඩත්තු කෙරෙන්නේ නැත. මේවග මෙම බංගලා වල නවාතැන්ගත් ඕනෑම කෙනෙක් සාක්ෂි දරනාවට සැකයක් නැත.

මේවායේ ජලය ලබාගන්නේ ළඟ ඇති විල්ලුවකින් හෝ වලකින් නිසා හැම විටම ඒ ජලය පාවිච්චි කල නොහැකි තරමින් මඩ සහිත වෙයි. බීමට තබා නෑමට හෝ ආහාර පිසීමටවත්  මේ ජලය භාවිතා කල නොහැක.

මේ හැම බංගලාවකම ඇත්තේ අවම පහසුකම්ය. මේවා ජරාජීර්ණ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නිසි පරිදි නඩත්තු නොකිරීම බව හොඳින් පෙනීයන කරුණකි. දැනට විල්පත්තුවේ අලුතෙන් බංගලා 4ක් ඉදිවෙමින් පවතී.

මේවා සඳහා ඉල්ලුමේ අඩුවක් නොමැති බව හොඳින්ම පෙනීයන කරුණකි. විශේෂයෙන් මේ බංගලාවක් සති අන්තයේ දිනක වෙන් කරවා ගැනීමට අවශ්‍ය වේනම්  අවම වශයෙන් වසරකටවත් කලින් ඒ සඳහා ඉල්ලුම් කල යුතු තරමට අධික ඉල්ලුමක් මේ ස්ථාන සඳහා ඇත. එනමුත් අය කරන මුදලට සාධාරණයක් වන අන්දමටවත් මේ තැන් පිළිවෙලකට පවත්වාගෙන යාමට කිසි උනන්දුවක් පෙන්වන බවක් දක්නට නැත.

මේ අතර යාල අභය භුමියේ ඉහලම තත්වයෙන් නඩත්තු කෙරෙන සියලු සැප පහසුකම් වලින් අනුන "බුතව බංගලාව" දේශපාලඥයින් සහ ඔවුනගේ හිතවතුන් ගේ පමණක් තනි ප්‍රයෝජනය සඳහා වෙන කර ඇති බවද වාර්තා විය.

මහජනයාගේ මුදල් වියදම්කර වැඩක් කර එතැන තමන්ගේ පින්තුරයත් නමත් අලවාගන්නා වෙනත් රටක් ලෝකයේ අපනම් දැක නැත. නමුත් ලංකාවේ අද වන්නේ එයයි.

ශ්‍රී ලංකාව තරම් ජෛව විවිධත්වයක් සම්බන්ධ පාරම්බෑමක් නොකලත් අප්‍රිකාවේ වන සතුන් බහුලව ඉන්නා බොහෝ රටවල වනජීවී "ව්‍යාපාරය" පවත්වාගෙන යාමේදී අනුගමනය කෙරෙන උසස් ප්‍රමිතිය ශ්‍රී ලංකාවටද ආදර්ශයක් වියයුතු බව කිව යුතුය.

කෙන්යාව, දකුණු අප්‍රිකාව, සැම්බියාව සහ ටැන්සානියාව වැනි රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තැනක් ගන්නේ වන සතුන් ඔවුනගේ ස්වභාවික පරිසරයේදී දැක බලා ගැනීමට අවස්ථා ලබා දීමයි.

ප්‍රධාන මාර්ගයේ සිට අඩුම වශයෙන් කිලෝමීටර් 15 කටත්  වඩා ඝන වනාන්තර මැද ඉදිකර ඇති මේ රටවල බොහොමයක් නවාතැන් පළවල් තරු පහේ හෝටලයක් තරමටම උසස් තත්වයට පවත්වාගෙන යනු ලබයි. පිරිසිදුකමත් සනීපාරක්ෂාවත් ඉස්තරම් අන්දමින් ඇති මෙම නවාතැන් පළවල් සියල්ලම ආරක්‍ෂිත කුඩාරම්ය.

මේ රටවලද බොහෝ අවස්ථාවල වන සතුන් සහ මහ ජනතාව අතර ගැටුම් ඇතිවන අතර මස් සඳහා මෙන්ම දල සඳහාද අලින්, රයිනොවරුන් සහ මුවන් වැනි සතුන් දඩයම් කිරීමද විශාල වශයෙන් සිදුවෙයි.

එසේනමුත් මේ හැම රටකම අභය භුමි මෙන්ම ප්‍රධාන මාර්ග වටාද ඉස්තරම් අන්දමේ විදුලි වැටවල් ඉදිකර ඇත. සූර්ය තාප බලයෙන් ක්‍රියා කෙරෙන මෙම විදුලි වැට නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙන අතර අවශ්‍ය තැන කඩිනමින් අලුත්වැඩියා කිරීමටද කටයුතු කරනු ලබයි. නවාතැන් වටාද මේ අන්දමට ඉස්තරම් විදුලි වැට ඉදිකර ඇත. එනිසාම කුඩාරම් අසලටම වනසතුන් පැමිණීමද සිදුවෙයි.

මේ තත්වයේ නවාතැන් පළවල් ශ්‍රී ලංකාවේ අභය භුමිතුල ඉදිකිරීමටත් ඒවා උසස් තත්වයකින් පවත්වාගෙන යාමටත් අපහසු තාවයක් ඇතැයි සිතිය හැකි නොවේ.

ඕනෑවන්නේ ඕනෑකම පමණකි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Photographs by Tissa Madawela

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction