සුභාවිත සිංහල ගීතයට සිදු වූ විපතක මහත!

අප අසා කියවා දැන උගෙන ඇති පරිදි ගීතය (ගේය පද්‍යය) වනාහී ගායනය පිණිස ලියැවුණු අපූරු කවියකි. කවිය වූ කලී හොඳම වචන හොඳම පිළිවෙලට ගැලපූ පරිකල්පන ශක්තියෙන් ප්‍රති නිර්මාණය වූ අපූර්වත්වයෙන් යුත් සෞන්දර්යාත්මක වාග් චිත්‍රයකි. වින්දනාත්මක අද්දැකීමකි. රසවත් කියමනකි. කවියත්, ගිතයත් අතර ඇති මේ අවියෝජනීය සම්බන්ධතාව හේතුවෙන් ඒ කලාංග දෙකෙහි පවත්නා ඉසියුම් වෙනස කෙනෙකුට එකවර අවබෝධ කරගත නොහැකි තරම්ය.

විචාරකයන් බොහෝ විට මේ වෙනස තෝරා බේරා දෙන්නේ හොඳ ගීත සියල්ලම පාහේ හොඳ කවි වුවත් හොඳ කවි සියල්ලම හොඳ ගීත බවට පත් කළ නොහැකිය යනුවෙනි. මෙය සත්‍ය කියමනකි. නොහොත් දිය හැකි වඩාත්ම සමීප නිර්වචනයකි. කවිය බොහෝවිට ඒක පුද්ගල සමවායෙන් කියවා රසවිඳීම සඳහා බිහිවෙතත්, ගීතය බිහිවන්නේ අසා රසවිඳීම සඳහා ත්‍රි පුද්ගල සමාගමයකිනි. එබැවින් කවියේ මෙන් නොව හොඳ ගීතයක් බිහි වීමේදී සම්බන්ධිත පුද්ගල ත්‍රිත්වයම (ඇතැම් විට එකම පුද්ගලයා වුවත්) ඊට අදාල දායකත්වය උපරිමයෙන් දිය යුතුය. එක් පාර්ශ්වයක් හෝ දුර්වල වුවහොත් සමස්ථ ගීත නිර්මාණයම අසාර්ථක වේ. හොඳ හෝ නොහොඳ පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ වුවත් මෙහිදී අප හොඳ ගීතය යන්නෙන් අදහස් කරන්නේ අර්ථ පූර්ණ වූත් රස පූර්ණ වූත් භාෂා දෝෂ රහිත, සංගීතය මුසු සංක්ෂිප්ත ගීතාත්මක භාෂා ප්‍රකාශනයකි.

ජන ගායනා විශේෂයක් වශයෙන් සහජාතීය (homogenous) සමාජ තුළ පාරම්පරිකව‍, සරල නාද මාලා ඔස්සේ නිරායාසයෙන් ගායනා වෙමින් ආ ගී නූතනයේ ප්‍රකට මානව ප්‍රකාශනයක් වශයෙන් ජනප්‍රියව ඇත්තේ මිනිස් කටහඬ මුසු වූ සංගීත සංයෝජනයක් ද සහිතව විද්‍යුත් මාධ්‍ය ඔස්සේය. එය සරල මිනිස් කටහඬේ සිට ගැමපෝන් තැටිය, කැසට් පටය, සංයුක්ත තැටිය, හා අන්තර්ජාලය දක්වා ද අද ව්‍යාප්තව ඇත. ශ්‍රව්‍ය මාධ්‍යයක් වශයෙන් පැවති ගීතය අද නව රසාස්වාදයෙහි දිගුවක් වන රූප මාධ්‍යයට ද සම්මිශ්‍රණය වී ශ්‍රව්‍යදෘශ්‍ය කලාංගයක් සේ අප හමුවට එයි.

අද අප කථා කරන ගීතය ගැන කතිකාවකට පෙර ගීතයේ මෑත ඉතිහාසය සැකෙවින් හෝ දැන ගැනීම මැනවැයි හැඟේ. සිංහල ගීතයට සංගීතය මුසු වූයේ නුවර යුගයේදී පමණ යැයි විචාරක විශ්වාසය වේ. ඒ යුගයේදී බොහෝ විට ගී සින්දු නමින් ගැයුණේ පෙර කී ජන ගායනාවන්ය. මෙම ගීත ප්‍රකට කරලීමේ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ කෝලම් හා නාඩගම් ශිල්පීන් විසිනි. පැරණි නාඩගම්වල තැනින් තැන සංගීතය මුසු වූ ගීත දක්නට ලැබ්ණි. කිඳුරු කෝලමේ එන “අසත් මපන රූබර“ යන ගීතය ඒ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.

දහනව වන සියවසේ මුල් භාගයෙදී පමණ ඇරඹෙන වඩාත් ගුණාත්මක හා සංවර්ධනාත්මක ගීත අත්හදාබැලීම්වල නො ඉඳුල් මියුරු ඵල ලාංකීය ජනතාව විසින් කුළුඳුලේ රස විඳීමට පටන් ගත්තේ ජෝන් ද සිල්වා වැන්නවුන්ගේ නාට්‍ය රසවිඳීමෙන් හා ආනන්ද සමරකෝන් වැන්නවුන්ගේ ගීත රස විඳීමෙනි. දකුණු ඉන්දියානු රාගධාරී සංගීතයේත් රවීන්ද්‍ර සංගීතයේත් අභාශය ලබමින් සිංහල ගීතය දෙපයින් නැගී සිටින්නට උත්සාහ ගත් යුගය සුභාවිත සිංහල ගීතයේ ළදරු කාලය බඳු විය.

ඉන් අනතුරුව ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත හා අමරදේව යන සිංහල ගීයේ මුල් තුන්කට්ටුව රැපියෙල් තෙන්නකෝන්, අරිසෙන් අහුබුදු, චන්ද්‍රරත්න මානවසිංහ වැන්නවුන්ගේ පද රචනා හැකි තරම් ස්වාධීනව සිංහල නාද මාලා ඔස්සේ පර්යේෂණාත්මකව ගායනා කරමින් සිංහල ගීතයේ නව යොවුන් විය ජව සම්පන්න හා අර්ථ සම්පන්න කළහ.

කුමාරතුංග මුනිදාස, හියුබත් දිසානායක, චන්ද්‍රරත්න මානවසිංහ, වැනි ප්‍රතිභා පූර්ණ පුරෝගාමීන් විසින් දැඩිමේනි කළ සුකුමොල සිංහල ගී කුමරිය මඩවල එස් රත්නායක, ඩෝල්ටන් අල්විස්, එදිරිවීර සරච්චන්ද්‍ර, මහගම සේකර, ධර්මසිරි ගමගේ, මර්සිලීන් ජයකොඩි පියනම වැනි ප්‍රාමාණිකයන්ගේ ස්පර්ශයෙන් ගුණරුවින් හැඩ වී, කරැණාරත්න අබේසේකර, ඩබ්. ඒ. අබේසිංහ, අජන්තා රණසිංහ, සුනිල් සරත් පෙරේරා, සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ, කුමාරදාස සපුතන්ත්‍රි වැනි ඊලඟ පරපුරේ සජ්ජනයන්ගෙන් මග අසාගෙන ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආර් ගමගේ, රත්න ශ්‍රී විජේසිංහ, බණ්ඩාර ඇහැලියගොඩ, යමුනා මාලනී හා නූතන ගීත වංශයේ මහානායක යැයි විරුදාවලී ලත් පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ හිමියන් වැනි ප්‍රතිභා සම්පන්න ගී පද රචකයින් අතින් පරිසමාප්ත යොවුන් විය ප්‍රතිභාසම්පන්න කරගත්තාය. මෙම ගී පද රචකයන්ගේ පන්හිඳෙන් රසැයුණ ගී පද මාලා ශ්‍රාවකයන් වෙත වාහනය කරැලීම සඳහා රටේ පිනට පහල වූ දුර්ලභ සුමියුරු මිනිස් කටහඬ කිහිපයක්ම හැත්තෑව දශකයේ සිට අසූව, අනූව දෙදහස දක්වා ද ඉන් කිහිපයක් හැරුණු විට අන් හඬවල්  අද ද අසා රස විදින්නට තරම් අපි භාග්‍ය වන්තයෝ වී ඇත්තෙමු. මේ ශාන්ති දායක මිනිස් ස්වරයෙහි එදා මෙදාතුර උරුමක්කාරයින් අතර නාරද දිසාසේකර, හරූන් ලන්ත්‍රා, වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, ගුණදාස කපුගේ, සනත් නන්දසිරි, දයාරත්න රණතුංග, සුනිල් එදිරිසිංහ, රෝහණ බැද්දගේ, සෝමතිලක ජයමහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, කරුණාරත්න දිවුල්ගනේ, නන්දා මාලනී, මාලනී බුලත් සිංහල, නීලා වික්‍රමසිංහ, ලතා වල්පොල, දීපිකා ප්‍රියදර්ශනී, චරිතා ප්‍රියදර්ශනී වැනි නම් සඳහන් කළ නොකළ තව බොහෝ ගායක ගායිකා පෙළක්ම බිහි වීම රටේ භාග්‍යයක් යැයි හඟිමි. එකී දිව්‍යමය හඬවල් මධුරස්වරයෙන් රසයන්නටම හපන් රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, ඔස්ටින් මුණසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න, ස්ටැන්ලි පීරීස් වැනි දුර්ලභ වාසනා ගුණ සහිත තනු රචකයින් පිරිසක් ද ඊට සමගාමීව බිහිවීම අපේ භාග්‍යයක් යැයි දෙවනුව හඟිමි.

ගීතය පිළිබඳ අමිහිරි, කටුක අද්දැකීම් වැඩි වැඩියෙන් අතිවිඳින්නට වන්නේ අනූව දශකයේ අග භාගයේ සිට යැයි පෞද්ගලිකව සිතමි. ඉහත සඳහන් කළ තුන් පිරිස එක්ව අකලට වැහැරී ගිය උදාර ගී කෙතට වාජීකරණ බඳු රස පිරි සුමිහිරි, ගීත නිමවීම ගීත සාහිත්‍යයේ උන්නතියට උර දෙතත් අපේ වන්දනා මානනයට තරම් පාත්‍ර වී සිටි ජ්‍යේෂ්ඨ ගී පද රචකයන් සමහරෙක් අතින් දැන් දැන් ලියවෙන ඇතැම් පදවැලක් කන වැකෙන කෙණෙහිම අප සියොලඟ හිරිගඩු පිපෙයි. අපුලින් මුව මැළවෙයි.

අප ඉහතින් සඳහන් කළ යුගයේ දෙවන තුන්වන යුග නියෝජනය කරන ඇතැමෙකු අතින් මුල් කාලයේ ලියුවුණු පද රචනා හා ඔවුන් අතින්ම අද ලියැවෙන ඇතැම් ගී විමසා බලනු වටී. සමහර පූර්වාදර්ශ යහපත් හෙට දවසක් සඳහා කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මෙය වෙනම ලිපියකට තරම් සුදුසු පරිච්ඡේදයක් වුවත් අහඹු ලෙස අහුලා ගත් එක් උදාහරණයක් පමණක් දක්වමි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් මුල් කාලයේ ලියැවුණ

යොවුන් වසන්තේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා .............
ආදී සරළ සුමියුරු ගීයක් රස විඳ, ඔහු අතින්ම මෑතක ලියවුණ
යනවා නං අනේ මං අරන් 
යනතැනකට යන්න රත්තරං....................

යනුවෙන් ඇරඹෙණ ගීතයක් විමසා බලන්න. ප්‍රේමයේ සෞන්දර්යය රම්‍ය වූ සඳ එළියක් සේ අපට ලං කළ මහාචාර්ය වරයෙකු අත රැඳි පන්හිඳට හිතුවක්කාර කම් කරන්නට එතුමන් විසින් කෙසේ අවසර දුනිදැයි සිතා ගනු බැරිය. එහි අනෙක් පුදුමය නම් නන්දා මාලනිය වැනි අප හිස් මුදුණේ වැජඹුණු දිව්‍යමය හඬක් ඇති ගායිකාවක විසින් අප පාමුල ගොමරිත්තක් බඳු ඒ අමිහිරි පදවැල ගායනා කිරීමය.

මෙම වකවානුවට අයත් ඇතැම් පද රචකයන් විසින් දැන හෝ නොදැන මෙම අභාග්‍ය සම්පන්න පරිහානියට අඩු වැඩි වශයෙන් දායක වී ඇති අයුරු ඔවුන්ගේ මෑත කාලීන නිර්මාණ විමර්ශනය කරන විට පෙනේ.

අද වන විට නොකල්හි බලහත්කාර කම් කිරීමෙන් අසරණ ව ගිළන් වූ සිංහල ගීතයේ සම්මත උරුමක්කාරයින් වන ගී පද රචකයන් අතර පල්ලේගම හේමරතන හිමි, වත්තේරුවැවේ ධම්මානන්ද හිමි, පාතේගම ඥානිස්සර හිමි, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, නිලාර්. එන්. කාසිම්, ආනන්ද හේවාරංහිඳ, යසනාත් ධම්මික, රවී සිරිවර්ධන, සමුද්‍ර වෙත්තසිංහ, සුනිල් දයානන්ද කෝනාර, අශෝක කෝවිලගේ වැනි බොහෝ දෙනෙක් සුභාවිත ගීතය නිසි තැන හිඳුවා යළි පනගන්වන්නට අවශ්‍ය ශාස්ත්‍රීය විඤ්ඤාණය අතැතිව යම් මෙහෙයක නිරත වන බව පෙනුණි ද දෙතුන් දෙනෙකුගේ උවමනා එපාකම්වලට අනුව ජනප්‍රිය රැල්ලේ සංයුක්ත පට සංගීතය ඔස්සේ එෆ්. එම්. නාලිකා හරහා අතොරක් නැතිව තොඳොල් වන මන්ද බුද්ධික කටහැකර නිවේදක නිවේදිකාවන්ගේ අභිරුචිය පරිදි අජීර්ණ වූ කුණු ගඳ ගසන ඝෝෂාකාරී ගීත විසි හතර පැයේම ගුවන් ගත වන රටක හොඳ ගීත නිසි ඇගයුමක් හෝ ප්‍රචාරයක් නොලැබ ‘වල්වදිමින් තිබීම‘ ගීත ශ්‍රාවක හුදී ජන පහන් සංවේගයට හේතු වී තිබේ. මෙයින් වඩාත් අසාධාරණයට ලක් වී ඇත්තේ යහපත් වූද නිවැරදි වූද යමක් කිරීමේ අරමුණින් ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ය. ඉහත සඳහන් කළ පද රචකයන් පමණක් නොව අපේ පරපුරේ ගායක ගායිකාවෝද තනු රචකයෝ ද මේ ඉරණමට ලක් ව සිටිති. මෑතක දී ක්ෂේත්‍රයට ආ ශාන්ත බුලේගොඩ, නවරත්න ගමගේ, කරුණාරත්න විජේවර්ධන, දයාන් විතාරණ, ඉසුරු ජයලත්, සුමිත් මන්දනායක, ඉමාන් පෙරේරා, ජානකී සුමිත්‍රා හා දිස්නා අතපත්තු වැනි හොඳ හඬක් හා මනාව ස්වරස්ථාන හඳුනාගෙන ගායනා කිරීමේ දක්ෂයන් සිටියත් ඔවුනට ඇතැම් විද්‍යුත් නාලිකාවලින් ලැබෙන ඉඩ හසර ප්‍රශ්න කළයුතුව ඇත.

එක් පසෙක මේ මහා අසාධාරණය මෙලෙස සිදුවෙද්දී අනෙක් පස ආකස්මිකව පහළ වූ අසම්මත පද රචකයන් අතින් එක රැයින් ලියැවී අල්පශ්‍රැත නපුංසක හඬවල් වලින් ගැයී ‘දඩි බිඩි‘ සංගීතය එක්ව එන ජනප්‍රිය ගීත දහස් ගණන් අන් කවරදාටත් වඩා බහුල වශයෙන් අසන්නට දකින්නට ලැබේ. (ජනප්‍රිය ගීත යැයි සඳහන් කළ ද මේවා ප්‍රසිද්ධ ගීත යැයි කීම වඩා සුදුසුයැයි සිතමි. මන්දයත් මෙබඳු බොහෝමයක් ගීත මුදල් ගෙවා බලෙන් අස්සවා බලහත්කාරයෙන් ජනමුවගට හුරු පුරුදු කරන ලද ඒවා බැවිනි.)

ගීත සාහිත්‍යයේ ස්වර්ණමය යුගය යැයි පිළිගැනෙන හැත්තෑව අසූව දශකවලත් මෙබඳු කුණාටු ගී කෙත හරහා හමා ගියේයැයි ද, ජනප්‍රිය සංගිතය, වේදිකා සංගීතය, කණ්ඩායම් සංගීතය, ප්‍රසාංගික සංගීතය වැනි සංගීතයේ විවිධ අතු ඉති තිබිය යුතු යැයි ද සංගීතය ඒකාකාරී නොවිය යුතු යැයි ද එයින් ගීතයට හෝ සංගීතයට හානියක් නොවෙතැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය. සැබවි. ඒ කෝක වුණත් රටේ පිළගත් සම්මතයන්ට,ව්‍යවහාරයන්ට, භාෂාවට, කලාවට හා සංස්කෘතියට ඉන් හානියක් සිදු වේ නම් ඒවා යහපත් නිර්මාණ ලෙස පිළිගත යුතුද? අච්චාරු, සලාද, නොන්ස්ටොප්, වේග රිද්ම, නව රිද්ම, හිංදි කොපි ගීත හා

චිංචියානෝ මගෙ ප්‍රේමි මගෙ මයින අල්ලපං, අල්ලපං, අල්ලපං, මගෙ මයින අල්ලපං..........

වැනි ගී ඇතුලත් කුණුහරුප ගීත කැසට් පට ද වෙළඳ පොළට ආවත් මේ සා විශාල පරිහානියක්, විනාෂයක්, හිස් මොළ සීරීමක්, කංකරච්චලයක්, එමගින් පොදු රසිකයාට සිදුවිණැයි නොසිතමි.

මල්, පංසල් ගැනම ගී ලියන ඇතැමුන්ට ප්‍රේමාලාප, අඳෝනා, විලාප විනා අලුතින් ගී ලියන්නට වෙනත් අද්දැකීම් නැතුවාසේය. අවශ්‍ය නම් ගීතයට පාදක කරගත හැකි දෛනික අද්දැකීම් කොපම‍‍‍‍‍‍‍‍ණ නම් මේ රටේ සමාජයේ ඇද්ද? අහස උසට නගින ජීවන වියදම, ගොවි ගෙදර දැවෙන ඇවිලෙන ප්‍රශ්න, ඇඟලුම් කම්හලේ දුක් විඳින යෞවනය, යුද බිමේ ගෙවෙන තාරුණ්‍ය, රෝහලේ ලෙඩ වුණ මූණු, සාහිත්‍ය සංස්කෘතික සංහාරය, කුණු ගඳ හමන දේශපාලනය, ශාසනික පරිහානිය, මේ සියල්ල මැද මුව විටට ආ ජාතියේ මළගම, ගීතයකට වස්තු බීජ නොවන්නේද? හොඳයි මේවා ගීතයකට අනුචිත කඨෝර ගද්‍යයෙන් ලිවිය යුතු දේ යැයි මොහොතකට බැහැර කරමු. ශෘංගාරාත්මක ප්‍රේමයම ගීතයට උචිත අනුභූතිය යැයි ගනිමු. එය සැබවි. ප්‍රේමය ගීයට අපූරු ප්‍රස්තුතයකි. ප්‍රේමයේ විෂය පථය මහා විශාල එකකි. ප්‍රේමයේ ඉසව් ගණකාවෙකි. අද ලියවෙන පෙම් ගීවලින් ප්‍රේමයේ සියුම් සංවේදී තැන් ස්පර්ශ වේද? ප්‍රේම විලාප, පෙම් අඳෝනා විනා වෙන දෙයක් පෙම් ගී වෙසින්  ඇසේද? පසුගිය අවුරුදු විස්ස තිහ තුළ ලියවුණ පෙම් ගී කිහිපයක් විමසා බලමු. ඒවා කෙතරම් අරුත් බරද? රසවත්ද? එහි විෂය පථය කෙතරම් පුළුල්ද? මගේ මතකයට එන තැනින් තැන අහුලාගත් උදාහර‍ණ කිහිපයක් මෙසේය.

වසන්තයේ මල් පොකුරු නෙළලා
ඔබ මා දෝතට ගෙනන තුරා
මග බලමින් මා හිටියා
සොඳුරු වසන්තේ ගෙවෙන තුරා...
මහගම සේකර

මීන නුවන් යුගින් බලන් මීනා
ගල් අරඹේ තල් පවුරින් එබී බලන් මීනා...
සුනිල් ආරියරත්න

ප්‍රේමය නම්
රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි...
සුනිල් ආරියරත්න

රෝස කටුව ළයේ ඇ‍ණුන
කුරුල්ලානනේ
රෝස මලට පෙම් කලාට
දඬුවමක් ද මේ
රත්න ශ්‍රී විජේසිංහ

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරි කම් හතර අතින් පාවෙනවා
සුළඟ වගේ...
රඹුකන සිද්ධාර්ථ හිමි

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ....
පල්ලේගම හේමරතන හිමි

එහෙත් ප්‍රේමය ගැන අද ඇහෙන ඇතැම් ගීයක් මෙසේය.
ප්‍රේමය ලොව හැම තැනම ඇති
හැම දෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැති
යමුනා මාලනී පෙරේරා

දෙහි මලක් වගේ හැ‍‍ඟේ ඔබත් දුර උන්නම සුවඳ ගෙන එනා
උපාලි බණ්ඩාර වීරසේකර

සවස පංතියට සුවඳ අරන් එන
පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම
චන්න ජයනාත්

මිළ කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
ලක්ෂ්මන් රඳාවාන

මීටත් වඩා අපූරු කුණුහරුප ඇසී ඇතත් ඒවා ලියා ඔබේ පුවත් පත නො කෙළෙසමි.

මල් පංසල් නිරුත්සාහයෙන් ගීතෝක්ති ලෙස භාවිතා කළ අවස්ථා අපේ ගීත සාහිත්‍යයේ දහස් ගණනක් හමුවේ.

කැළණි විහාරේ සුදු සඳ මළුවේ
දණ බිම ඇණ ඔබ වඳින වෙලේ
ඉවසිලි නොමැතිව ඔබ එනතුරු
බලා සිටිමි මම පසෙකට වී
මහගම සේකර

වැහැපන් මල් වරුසා
නියර දිගේ මැණිකේ එන වෙලාවේ
කෙකටිය මලේ සුද ගෑවෙන වෙලාවේ
 ඩබ්. ඒ. අබේසිංහ

දියෙහි ඉපිද දියෙහි ගිලී, දියෙහි මියැදෙනා
නෙලුම් මලේ
නුඹ බුදු හිමි ලඟම දැවටෙනා
පිනෙන් සාර මලක් වුණේ කවර පිනෙකිනා
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

බලන්න මේ ගීත මිහිර කෙතරම් අපූරුද? මල් පංසල් මතු නොව බෝක්කු පාලම් ආරුක්කු වුව ද ගීයට යොදා ගැනීමේ වරදක් අපි නොදකිමු. ඒවා යොදා ගැනීමේ තහංචියක් ද නොමැත. පැරණි කවියා ද සම්භාව්‍ය ගීත රචකයා ද නෙළුම් මල්, මානෙල් මල්, සමන් මල් මතු නොව තුඹ මල්, ඉද්ද මල්, වතුසුදු මල්, පින්න මල් වැනි නානාප්‍රකාර මල් වර්ග අලංකාර ලෙස කවියටත් ගීතයටත් යොදා ගත්තේය. ඔහු කිසිදා නොදුටු පරසතු මදාරා වැනි කල්පිත මල් ද අරුත් බරව නිර්මාණාත්මක ලෙස භාවිත කළේය. එහෙත් අද ඇපල් මල්, ඩැෆඩිල් මල් හරහා ඇරඹි මල් පිස්සුව වරා මල්, සියඹලා මල්, දෙහි මල්, වැල් දොඩම් මල්, තැඹිලි මල්, කදුරු මල්, වැනි අරුත් සුන් ඖචිත්‍ය ගුණයෙන් හීන ජුගුප්සා ජනක නිසරු මල් රැල්ලක් බවට පත් වී තිබේ. තවත් ඔවුනට ඉතිරිව ඇත්තේ කෙහෙල් මල හැණු විට මල් දෙක තුනක් පමණකැයි විශ්වාස කරමි. වන්දනීය වූ පූජනීය වූ සියලුම පංසල් වෙහෙර විහාර ප්‍රේම පාරාදීස බවට පත් කරගෙන ඇති අයුරු නින්දනීයය. මේ ගී පද රචකයින් සියලු දෙනාම පාහේ තම සක්කර වට්ටමට පෙම් කිරීම සඳහා ආරාධනා කරනුයේ පංසලකටය. අඳෝමැයි සසරක හැටි. විචාරකයින් විසින් එතරම් ඇගයීමට ලක් නොවූ එහෙත් සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රසාදයට ලක්ව මිය ගිය එච්.ආර්.ජෝතිපාල (මොහු සැබැවින්ම ජනප්‍රිය ගායකයෙකි.) ගැයූ අන්තිම කසිකබල් ගීතයක් වුව අද ඇහෙන මේ ගී වලට වඩා විශිෂ්ට යැයි මට හැඟේ. ගීත රචනා කලාව පාළු ගෙයි වලං බිඳින්නන්ගේ කලාවක් වී ඇති අයුරු බලනු මැනවි. රාජ්‍ය මාධ්‍යය රට වෙනුවෙන් කළයුතු දහසකුත් එකක් රාජකාරි පසෙක තබා දේශපාළන හොරණෑ බවට පත් වීමත්, වග කිවයුත්තන් කලාව සංස්කෘතිය වල පල්ලට යන තුරු මර නින්දේ පසුවීමත්, උගතුන් බුද්ධිමතුන් බකංනිලාගෙන සිටීමත්, අපේ ප්‍රවීන ගීත රචක ගායක පිංවතුන් කැල නිර්ලජ්ජිතයන්ට අවලාද කියනවා වෙනුවට තම රසික පර්ෂද වෙත අරුත්බර යමක් නිරන්තරයෙන් නොදී නිහඬව සිටීමත්, මේ අවර ගණයේ ගී එළි බැසීමට අන්‍යාකාරයෙන් හේතු වී තිබේ. එයින් කුණු බක්කි කාරයෝ ලාභ ලබති.

නූතනයේ ලියවුණු ගීයක දෙකක හැඩ රුව විමසා මේ කථිකාවට විරාමය තැබිය යුතුය. ඉන් අද ලියවෙන ගීතවල හැඩරුව පොදු රසිකයාට තේරුම් කර ගත හැකි වෙතැයි සිතමි.

මල් පංසල් වැනි උපමා රූපක පසෙක තිබියේවා. මේ වර්ගයේ බොහෝ ගීතවල සම්මත ව්‍යාකරණය පවා බිද ඇති අයුරු බලන්න.

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළගට මුසු කරමු
උපදින හැම වාරේ...

අප දෙදෙනා පාරමිතා නොපුරමු. යන වාක්‍යයේ එන “අප නොපුරමු යන්න“ පාසල් වියේ නොදරුවෙකුගෙන් විමසුවත් මෙහි ව්‍යාකරණ දෝෂ දකිනු සහතිකය. ගීත රචකයා අතින් වූ වරද ගායිකාවට නිවැරදි කිරීමට නොහැකි විණිද? නොඑසේනම් ගායිකාව වරදවා උච්ඡාරණය කළාද, මීට සමාන මේ පරපුරේම තවත් ගීයක් ඇසේ.

කවියකින් ලියනු බැරි....... යනුවෙන් ඇරඹෙන එහි අවසාන පාදය මෙසේය.

සුසුමකින් මා එවමි.........

බලනු සිංහල දැනීමේ තරම. මොවුන් දෙදෙනාම ගියේ එකම පාසලටදැයි මම නොදනිමි. මේ වෙලාවේ මට ඔවුන්ගේ දෙමාපියන් පමණක් නොව ගුරුවරුන් ද සිහිවෙයි.

ඉහත ගීතයේ එන පාරමිතා යන යෙදුම දෙස බලන්න. පාරමිතා යනු බෝසත් ගුණ ධර්මයකි. බුද්ධත්වය ලබනු රිසි බොසතෙකු විසින් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරනු ලැබිය යුතු බුද්ධ කාරක ධර්මයකි. එබඳු ආගමික හා සංස්කෘතික වටිනාකම් ඇති වැදගත් වචන නිසරු ප්‍රාර්ථනා සඳහා ගීත රචනාවල නොයොදන ලෙස මේ පද රචකයින්ගෙන් කරුණාවෙන් ඉල්ලමි. මේ ප්‍රේම සීමා මාලකේ හමු වී ආදී වශයෙන් ගැයෙන තරමක් පැරණි ගීතයක ද මේ වරදම කරනු පෙනේ. සීමා මාලකය යනු පෙම් කරන තැනක් නොව උපසපන් භික්ෂූන් පොහොය විනයකර්ම කරන ශීල පාරිශුද්ධත්වය ලබන පරම පිවිතුරු පූජනීය ස්ථානයකි. එතැන පෙම්වතුනට එක් වී අසද්ධර්මයේ යෙදෙන්නට සුදුසු තැනක් නොවේ. ඒ සඳහා අන් සුදුසු තැනක් සොයාගනු යෙහෙකි. එහෙත් ඒ සඳහා ආරාධනා කිරීමට ගුවන් විදුලිය, රූප වාහිනිය වැනි ජනමාධ්‍ය භාවිතයට අපි තරයේම විරුද්ධ වෙමු.

මට ඔබ ඔබ මට පෙම් කළ තරමට
වෙන් වී යන්න බැරි..

මේ පෙළ වරක් දෙවරක් කියවා බලන්න. ඈ පෙම් කොට ඇති රඟ පසක් වේවි.

නවක ගී පද රචකයිනි, අප ගී පද රචනයේදී ප්‍රවේසම් වියයුතු තැන් බොහෝමයක් ඇත. මේ බලන්න.

    සෙව්වන්දි නිල් ජලාසේ විලේ හංසයාටයි...
    මහ මුහුදු විමානේ රණ තිසර උදානේ...

ආදී පැරණි ගීත කිහිපයකත් මේ අනුචිත දුර්වල යෙදුම් අප විසින් දක්නා ලදි.

මතුපිට කන මොහොතකට රවටන ඝෝෂාකාරී තනුවකට මගී ප්‍රවාහන රියදුරන් කොන්දොස්තරවරුන් තුන් රෝද රථදුරන්, ඇඟලුම් කම්හල් ක්ෂේත්‍රය ආශ්‍රිත තරුණ තරුණියන්, හමුදා සෙබළුන් වැනි ප්‍රමාණාත්මක අධ්‍යාපනයක් නොලද අපේ සහෝදර සහෝදරියන්ගේ අහිංසක ප්‍රාථමික රසිකත්වයට ඉල්ලුමට සැපැයුම සලසන ගීත කලාවකට බඩ පිණුම් ගසන්නට ඉඩ හැර සුජාත ගී පද රචකයින්, තනු රචකයින්, ගායක ගායිකාවන් අසරණව බුදුන් බෝ මැඩ මාර පරාජය කරන තුරු වසවතුට බියෙන් හී හී කඩ පළා ගොස් සැඟවී බලා සිටි දේව සමූහයා සේ වික්ෂිප්තව භද්‍ර වූ කාලයක් යළි මේ දෙරණ මත එතී දෝ හෝයි වගකිව යුත්තන් නිසොල්මන්ව උඩ බලා සිටින අයුරු දකින අප සිත්හි කම්පනය දැඩි වේ.

සැයු. මිට දස වසරකට පෙර මවිසින් දිවයින පුවත් පතට සැපයූ ලියමනකි.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction