ගීයෙන් බුදුගුණ

ගීයෙන් බුදුගුණ Image (c) Sri Express

අසිරිමත් (නවාංග) සත්ථු ශාසනය සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත හා වේදල්ල වශයෙන් කොටස් නවයකට බෙදා වෙන්කර තිබෙනු දක්නට ලැබේ. (පාරාජිකා පාළි) මෙහි දෙවැනිවට දක්නා ලැබෙන්නේ ගෙය්‍ය නම් බෙදීමයි. එනම් ගැයිය යුතු ධර්ම කොටස් යන්නයි. තවද ගාථා නමින් කොටසක් ද දක්නට ලැබේ. ගාථාවල ද ගේයතා ලක්ෂණ දැක්ක හැකිය. එබැවින් ගෙය්‍ය හා ගාථා වැනි ගේයතා ලක්ෂණ ප්‍රකට කරන ධර්මස්කන්ධ බෞද්ධ ගායනා ලෙසින් හඳුනාගත හැකිය. නොහොත් ඒවා උචිත ශෛලීන්ගෙන් ගායනා කළයුතු ධර්ම කොටස්ය. මෙම ගේයතාව කිසිවෙකු විසින් ගීතස්වරය යැයි වරදවා වටහා නොගතයුතුය. (ශෘතියට හා ලයට අනුව යමින් සංගීතාත්මකව හෝ ශෘංගාරාත්මකව ධර්මදේශනා කිරීම විනය විරෝධීය.)

බුදු සිරිතත් බුදු දහමත් අසිරිමත් වනවා මෙන්ම ආශිර්වාදාත්මක ද වේ. බණ පිරිත් හෙවත් පරිත්ත භාණයේදී ඒ ඒ තැන ශබ්දෝත්පාදනය ශබ්ද විද්‍යානුකූලව අර්ථ හා පද නොබිඳ ධ්වනිය කෙරෙහි සිහි එළවා දේශනා කරන කල්හි ඉන් ලද හැකි ඵල විපුලය. නොඑසේ වුව ඉන් අපේක්ෂිත අර්ථ සිද්‍ධිය නොවෙතැයි විශ්වාස කෙරේ. ගාථා යෙදෙන ස්ථානවල උචිත නාද හා තාල අනුව ඒවා ගායනා කරනු රාත්‍රී මහ පිරිත් දේ‍ශනාවන්හිදී දක්නා ලැබෙන්නේ එහෙයිනි. සූරිය, මෝර, ඉසිගිලි අදී පිරිත් සූත්‍ර ඊට උදාහරණ කිහිපයකි.

ඉහත කරුණු විමසිල්ලෙන් පරීක්ෂා කර බැලීමෙන් පසක් වන එක් වැදගත් කරුණක් නම් බුදු ගුණ හා බුදු බණ ගායනා කළ හැකිය යන්නයි. එබැවින් අතීතයේ සිටි භක්තිවන්තයෝ අප්‍රමාණ බුදු ගුණ දහරාව ගාථාවෙන්, සිලෝවෙන්, කවියෙන් හෝ ගීයෙන් ගැයූහ. වැණූහ. සිය ගණනක් වූ පැර‍‍‍‍‍ණි පොත පත හා ජනශ්‍රැති ඊට සාකල්‍යයෙන්ම සාක්ෂි දරත්.

අතරක් නැති බුදු ගුණ මුහුද වනා ඇති අයුරු පාලි, සංස්කෘත, සිංහල ආදී සාහිත්‍ය පරිශීලනයේදී නිරන්තරයෙන් මුණගැසේ. වන්දන, මානන, පූජන අවස්ථාවලදී නිතර ඇසේ. පාලියෙන් බුදු ගුණ වැණුවෝ

නමෝ තේ බුද්ධ වීරත්තු

නමෝ තේ පුරිසුත්තම

නමේ තේ පුරිසාතුල්‍ය

නමෝ තේ පුරිසාසභ.

 

යනුවෙන් ද

 

සංසාර සාරෝඝ විනීත නී                  සං

සං නීත සාතං සුචිසාර ධී                    සං

සං ධීර කං සොණ්ණ තනූපලා            සං

සං ලාප දේසිං පනමේහි සා                සං

 

ආදී වශයෙන් ද ඒ ගුණ මහිම වැණූහ. රන්දෙනේ ගාථා, නරසීහ ගාථා ආදී නොයෙක් උදාහරණ පෙන්වා දෙන්නේ මෙසේ ඒ අසීමිත බුදුගුණ සමූහය වැණූ අයරුය.

බුදු ගුණ මහත්වය දුටු පුරාණාචාරීහු ඒ බුදු ගුණ වැණුමට ශ්ලෝක ලියූහ.

ශ්‍රීඝණං ශ්‍රීමතිං ශ්‍රේෂ්ඨං ශීල රාශිං ශිවංකරං

ශ්‍රීමන්තං ශ්‍රීකරං ශාන්තං ශාන්ත වේශං නමාම්‍යහම්(නාමාෂ්ඨ ශතකය)

 

නමඃ සමන්ත භද්‍රාය

සර්ව ගෝචර චක්ෂුසේ

කරණාමෘත කල්ලෝල

සිද්ධවේ සූර්ය බන්ධවේ

 

ජය ජය ධර්මරාජ

ජනකෘත සර්ව පූජ

අශදෘශ බුද්ධ ලීල‍

අතිපරි‍‍‍‍ශුද්ධ ශීල(බුද්ධ ගජ්ජය)

 

ආදී වශයෙන් බුදු ගුණ වැණූ ශ්ලෝක අපමණය. සිංහලෙන් බුදු ගුණ වැණූ උගත්තු සිංහල සාහිත්‍ය වංශය අපමණ බුදු ගුණ ඉසුරින් ශෝභාමත් කළහ. එමතුද නොව නූගත්යැයි සම්මත ජන කවියා ද යසෝදරාවත, තුන් සරණය වැනි කාව්‍ය කෘති හරහා සිය බුද්ධ භක්තිය පුද කරන්නේ මෙසේය.

පුරාණ තුන් සරණය ආරම්භ වන්නේ

පියුම් පිට සිරි                  පා

සතුන් ගොඩලම් බල       පා

විකුම් ජය තෙද               පා

වඳිම් අදරින් මුණිදු සිරි     පා

 

වෑත්තෑවේ හිමියෝ ඒ බුදු සිරිතමෙසේ වැණූහ.

 

සිය පින් සිරින් ස                                    රු

දෙතිස් ලකුණෙන් විතු                 රු

කෙලෙසුන් කෙරෙන් දු                රු        

වඳිම් මුණ උතුමන් තිලෝගු          රු

 

වීදාගම හිමියෝ ඒ ගුණ මුහුද මෙසේ වැණූහ.

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්

සත්හට වන බව දුකට වෙදාණ      න්

තිත් ගණදුරු දුරලන දිනිදාණ       න්

සිත් සතොසින් නමදිමු මුණිදාණ  න්

 

සිංහල කව් ගී විෂයෙහි බුදු දහම කෙතරම් බලපෑවේද යත් පසු කල “පෙදෙන් බුදු සිරිතැ“යි නීති පනවන තරමට එම ව්‍යාපාරය බලවත් විය. එනම් කව් ගී යනු බුදු ගුණ වැණීම පිණිස මිස අනෙකක් සඳහා භාවිත නොකළ යුතුය යන ව්‍යවහාරයයි.

            මේ යට ගිය යති සම්ප්‍රධායට ගරු කලෝ පසු කල කවියෙහිම දිගුවක් ලෙස විකසිත ගීයෙහි ප්‍රස්තුතය ලෙස ද බුදු ගුණ ඇලලූහ. ප්‍රිය සාධන කර්ණ රසායන, සුගායනීය හා චිත්තාරාධනීය වචන මාලාවකට සංගීත ප්‍රස්තාරයක් ලියා ඒ අනුව නාද මාලා සකසා ගැයීම් වැයීම් වශයෙන් ඉපැදුණු ගීයට ඔවුහු බුදු ගුණ එතූහ. ජනප්‍රිය කලාංගයක් වශයෙන් වැඩී පසු කල වල්මත් වී හසර නොදැන අයාලේ ගිය සිංහල ගීයෙහි මුල් අඩසිය වස දෙස බලන කල කාටත් පෙනෙන සුලභ කරුණ නම් ගීතය බුදු ගුණ වැණුමට වැඩි වශයෙන් භාවිත කළ බවයි. රටක මුල් බැසගත් සංස්කෘතිය ඒ රටේ කලාංගයන් කෙරෙහි බලපාන මූල සාධකයකි. එබැවින් එකල බිහිවූ ගීත බහුතරය බෞද්ධ ගීත විය. මේ ඊට නිදසුන් කිහිපයකි.

 

ධර්ම රාජා නමාමි මා//

මිහිතලේ අසම මාරජී වඳිමි අසම මාරජී

සංසාර සයුරේ බෝ දුක් නිවාලා දම් අමාව දී

ලෝදා මුදිතවේ කරුණාවේ ගඟුලැල්ලේ දම් අමාව දී

රාජා රාජාති රාජ වූ රාජාති රාජ වූ මිහිතලේ

අසම මාරජී වඳිමි අසම මාරජී

මධු රස ශ්‍රී පාදේ //

උරා ලෝ වැසි අමමී බී

ලොකේ පූජාති පූජාවන් ලැබූ

ලෝනා සෑසී පියා වඳිමි සාධු කියා//

භක්ති ප්‍රේමේ පපා හදේ අමර සැප පතා

මිහිතලේ අසම මාරජී

වඳිමි අසම මාරජී

ධර්ම රාජා නමාමි මා..... (ගායනය: වසන්තා සන්දනායක)

මේ බුදු ගුණ ගී කලාව මනාව විකසිත වී අවුත් පෝෂිත වී අද වන විට යට කී පරිද්දෙන් දූෂිත වී ඇතත් ඉඳහිට හෝ ඇසෙන එදා ගැයුණ බුදු ගුණ ගීයක රුව ගුණ වරුණ බලනු මැනවි.

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස///

 

පාමිතා බල පූරිත පූරිත බුද්ධ දිවාකරයාණෝ

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව

බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ

පිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ

සනසා මුලු ලොව නිවන් ලබා දී

පුණ්‍ය මහෝදධි ශාන්ත සමාධී

සණරාමර ගුරු ලෝක ශිවංකර

බුද්ධ දිවාකරයාණෝ....

මාර පරාජය කළ මුණිදුන්ගේ

කරුණා ශීතල මෙත් දහරා

ගලා බසී තුන් ලෝ තලයේ

දුක් ගිමන් නිවා අම සෙත සාදා

බුදු රැස් කැටි වී නැගි ආලෝකේ ....

පිසයයි දුකඳුර මුලු තුන් ලොකේ .......

(ගායනය: පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව, පද රචනය: චන්ද්‍ර රත්න මානවසිංහයන්)

 

අමරදේව ශූරීන්ම ගයන මහගමසේකරයන්ගේ පද වැලක් බුදුගුණ වණන අයුරු මෙසේය.

 

ඇසේ මතු වන කඳුලු බිඳු ගෙන

ඔබේ සිරි පා දොවන්නම්

හදේ මැළැවෙන කැලෑමල් ගෙන

ඔබේ සිරි පා පුදන්නම්

කෙළෙස් මල පිරි නුවර අතහැර

බවුන් වඩනට වනේ වැඩි ඔබ

සොයා ආයෙමි පොළෝ තලයේ

අනේ පිහිටක් නොමැති වූ විට

 

ඉහල නිල්වන් අහස විනිවිද

නැගෙන ඔබගේ යෝධ බුදු බඳ

මගේ නෙත සිත මෝහනය කර

මගේ කුදු බව පසක් කර ඇත.

 

ඒ මහා ගාන්ධර්වයාම ගයන තවත් ගීයක් මෙසේය. මේ අධිනීතීඥ ඩබ්. ඒ. අබේසිංහ ශූරීන් බුදු ගුණ වැයූ හැටියට කදිම නිදසුනකි.

අඩවන් වූ දෙනෙතින් ගලනා

මෙත් මුදිතා කරුණා ධාරා....

තෙමා තෙමා හද ගලා ගලා යන

ලොව්තුරු ගුණ මහිමේ.....

මහ මෙව්නා උයනේ

සමාධි බුදු පිළිමේ....

පිරීතිරී යන මහ වතුරක් සේ

ගලා හැලෙන සිහිලැල් ගඟුලක් සේ

ගිමන් නිවාලන මේ භව කතරේ

නිවන් සදාලන බුදු ගුණ මහිමේ

මහ මෙව්නා උයනේ

සමාධි බුදු පිළිමේ....

 

නන්දා මාලනිය ගයන මේ ගීයේ අමුතු අපූර්වත්වයක් ඇතැයි මට සිතේ.

 

සසර සයුරූ තරණ පසු රූ

අවිදු අඳුරූ හරණ දිව යුරු

වඳිමු මුණිදූ සරන තඹුරූ

සතට සැපතා සදන එකයුරු

 

මරු කතරෙහි මහා විලයි

දොර දොර නැගි සුරා හලයි

ඇස ඇස රැඳි රසඳුනයි

සිතු සැප දෙන සිතුමිණයි

 

නිවන පිණිස භවෙහි ගිමන නිවන් මඟ සොයා

තෙමා දහම් අමා දියෙන් ලෙවන් සනසවා

 

ඉන්ද්‍රානි බණ්ඩාර ගැයූ මේ බුදු ගුණ ගීය ද අසිරිමත් බුදු සිරිතෙහි තවත් පැති කඩක් විමසයි.

බුදු සාමිනි සිරි පා පියුම් බැතින් පිණි පා

කුලය වත ගොත බලය නිලතල නොබැලු කිසි දවසේ

දිළිඳු අතු පැළ පුරුදු රජ ගෙය සියලු තැන සමසේ සැලකූ

ගුරු මිණි සොමි සෙත පෑ හිමි කරුණා සුවේ සතපා

අඳුර සිඳ බිඳ එළිය දෙන ලද දහම් ආලෝකේ

වඳිමි සොමි සෙත පෑ හිමි කරුණා සුවේ සතපා

අසීමිත බුදු ගුණ වණා සිය පිරිපත දුරලනු පිණිස කරන නොයෙක් ආයාචනා ද බුදු ගුණ ගී අතර දක්නා ලැබේ. සුනිල් එදිරිසිංහයන් ගයන මේ ගීය ඊට නිදර්ශිතයි.

 

සොයා පි‍ළි සර‍ණක් ලොවෙන් මා නොලැබ හව් හරණක්

භවෙන් භවයේ පතා ආවෙමි හිමියනේ.....

ඔබේ මුදු වදනක්

 

ගෙවා සුවහස් යොදුන් දිවි කතරේ

සොයා යන මං නොදැන මේ අඳුරේ

යුගෙන් යුගයේ පතා ආවෙමි

හිමියනේ...

ඔබේ මුදු සිසිලක්

 

මහා කරුණා නුවන් දිය ගැඹරේ

ගිලී සැනහී නිවා ගිනි සසරේ

පහන් වැට සේ සොයා ආවෙමි

හිමියනේ...

ඔබේ නෙතු කැල්මක්

 

සෝම තිලක ජයමහ නම් වූ අපූරු ගායකයාණන් ද බුදු ගුණ වෙනුවෙන් සිය හඬ දායකත්වය දුන් අයෙකි. ඔහු දුටු බුදු ගුණ මෙසේය.

බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා

පියෙන් පියට මිහිකත සනහා

බැලූ බැලූ නෙත් සිත් බඳවා

දහම් අමාවෙන් තිලොව තෙමූ

බුදු පියාණනේ ඔබේ පාද කරනෙමි පිණිපා

 

සසර සයුරකට නෞකාවයි

නිමල අමිල මෙත් සිසිලාරයි

ලොවේ අනගි ගුණ දම් මුහුදයි

බුදු පියා මගේ

භවේ අඳුර නැසු මිණි පහනයි

හිමියනි ඔබේ මොක් මග හමුවේ

ඇදෙමි බැඳෙමි වෑවෙමි නිබඳේ

තිලෝ තිලක සම්බුද සමිඳේ

මම දිවා රැයේ ගිලී නහමි නිය කැන් දහරේ

 

අනවරත බුදු ගුණ වැයූ ශිල්පීන් සිය දහසක් ඇතත් ඔවුන් ගැයූ අපූරු බුදු ගුණ ගී සිහියට එතත් ඒ හැම උදාහරණ ලෙස දක්වන්නට මේ ක්ෂුද්‍ර ලෙඛනය ඉඩ නොදෙන වැවින් කවදත් බුදුගුණ ගීයෙන් පිදූ යති පරපුරේ පහන් ටැඹ වන් අපේ රඹුකන සිද්ධාර්ථ හිමියන් ලියා මාලනී බුලත්සිංහල නම් සුප්‍රකට ගායිකාව මුවගට නැගූ බුදු ගුණ ගීයකින් මේ අසම්පූර්ණ බුදුගුණ වැණුමට කුණ්ඩලිය තබමි.

පිපෙනා මලකට ගලනා දොලකට

දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි

කොයි ලොව යන්නේ මරණින් පස්සේ

පිං පව් එනවා අපි පසු පස්සේ

 

කලුගල් කුලකට බොල් මැටි පිඩකට

දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි

කොයි ලොව යන්නේ මරණින් පස්සේ

පිං පව් එනවා අපි පසු පස්සේ

 

ඉර හඳ දෙපොලට මේ මහ පො‍ළොවට

දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි

කොයි ලොව යන්නේ මරණින් පස්සේ

පිං පවි එනවා අපි පසු පස්සේ

 

කෝන්වැවේ අරියරතන හිමි


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction