ලුම්බිණියේ අසිරිමත් සිදුවීම Featured

ලුම්බිණියේ අසිරිමත් සිදුවීම PHOTOGRAPHS BY TISSA MADAWELA

භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.

සිද්ධාර්ථ බෝසතානන්ගේ උත්පත්තිය සිදුවුන ඒ අසිරිමත් ලුම්බිණිය එයින් එකකි. බෝසතානන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහීරණය කර සම්මා සම්බුද්ධත්වයට පත්වූ අසම සම බුද්ධගයා පිංබිම, ලෝසතුන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකල මිගදායේ අවිඳු අඳුර දුරැකළාවූ  ඉසිපතනාරාමය සහ මහා කාරුණිකයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් සිද්ධස්ථාන වෙයි.

මේ සියලු ස්ථාන අතරින් වර්තමාන නේපාලයේ රුපන්දෙහි දිස්ත්‍රික්කයේ පිහිටි ලුම්බිණි පුදබිම පිළිබඳව පසුගිය දින කහිපය තුල ලොවවටා සුවිසේශී ප්‍රවෘත්තියක් ප්‍රචාරය විය.

ඒ සිදුහත් බෝසතානන් වහන්සේ උපතලද ස්ථානය ලෙස මෙතෙන් හඳුන්වාදී තිබු අනෙකප්‍රමාන ජනී ජනයාගේ වන්දනාවට පාත්‍රවූ ලුම්බිණියේ මායා දේවි පුරාවිද්‍යා භුමියෙහි පොලවයටින් මතුකරගන්නා ලද අලුත් දැව ගොඩනැගිල්ලක නටඹුන් ක්‍රිස්තුපුර්ව 6 වන සියවසෙහි ඉදිකරනලද ඒවා බවට කාල නීර්ණය කිරීමෙන් හෙළිවී ඇති පරිදි බුදුන්වහන්සේ වැඩසිටින්නට ඇත්තේ වර්තමානයේ විශ්වාස කරන අන්දමට ක්‍රිස්තු පූර්ව 623 සිට 543 දක්වා නොව ඊට සියවසකට පෙරාතුව බව නිවේදනය කිරීමේ උණුසුම් ප්‍රවෘත්තියයි.

කාලය පිලිබඳ වෙනස කෙසේවුවත් සිදුහත් කුමරුන් නියතවශයෙන්ම මෙලොව එලිය දුටුවේ ලුම්බිණියේ මායා දේවි විහාරස්ථානය පිහිටි භූමියේදී බව මේ මඟින් සනාථවෙයි. මෙය බෞද්ධයන්ට මෙන්ම ඉතිහාසඥයින් හටද මහත්සේ වැදගත්වන සොයාගනීමකි.

ලුම්බිණියේ දැනට ඇති ධර්මාශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව 249 දී ඉදිකරනු ලැබූ ලැබූ "අශෝක ස්ථම්බයෙහි"ද එම ස්ථානය සිදුහත් කුමරු උපත ලද තැන ලෙස සටහන් කර ඇත.

අශෝක ස්ථම්භය ඉදිරිපසින් ඉදිකෙරුණ පොකුණ සිදුහත් උපතට මොහොතකට කලින් මහා මායා දේවිය ස්නානය කරන ලද ස්ථානය ලෙසත් ස්ථම්භය පිටුපසින් ඇති පුරාවිද්‍යා නටඹුන් අශෝක අධිරාජයා විසින් ඉදිකරන ලද විහාරස්ථානය ලෙසත් පිළිගැනේ.

මෙම පුරාවිද්‍යා නටඹුන් ආවරණය කොට වර්තමානයේ නව ගොඩනැඟිල්ලක් ඉදිකර ඇත. නටඹුන් පුහිටි පෙදෙසෙහි මැද මීට පෙර කල කැනීම් වලදී සොයාගත් අශෝක අධිරාජයා විසින් පිහිටවූ ශිලාමය එලකයක සිදුහත් කුමරුන් උපතලද ස්ථානය ලෙස සඳහන් කර ඇත. වර්තමානයෙහි එය එම ඵලකය හමුවූ ස්ථානයෙහිම සුරක්ෂිත වන අන්දමින් සහ වන්දනා කරුවන් සහ අනෙකුත් සංචාරකයින් හට දැක බලාගෙන වන්දනා කිරීමට පහසුවන අන්දමින් ඝන වීදුරු රාමුවක් තුල තැන්පත්කර ඇත.

මෑතදී  ආරම්භකර ඇති කැනීම්වලදී දැනට පොලව මතුපිට පිහිටි ගඩොල් ගොඩනැඟිල්ලට යටින් වෙනත් ගොඩනැගිලි ඉදිකර තිබුබවට සාක්ෂි හමුවී ඇත.

ඒ අනුව සිදුහත් කුමාරෝත්පත්තිය සිදුවූ අවස්තාවේදී මහා මායා දේවියට පිහිටවූ සාල වෘක්ෂය වටා ලීයෙන් නිමකරනලද වහලයක් නොමැති ගොඩනැගිල්ලක් එම භුමියේ ඉදිකර තිබෙන්නට ඇතැයි ලුම්බිණී පුරාවිද්‍යා පරිසරයේ කැනීම් භාර මහාචාර්ය රොබින් කනින්හැම් පවසා ඇත.

ධර්මාශෝක අධිරාජයා ක්‍රිස්තු පූර්ව 249 දී ලුම්බිණිය වෙත පැමිණි අවස්ථාව වනවිට එතන බුදුන්වහන්සේ වැඩසිටි කාලයේ ඉදිකර තිබු දැන් සොයාගෙන ඇති ගොඩනැඟිලි සියල්ල අබලන්වී හෝ ප්‍රතිසංස්කරණයට ලක්වී තිබුනාට සැක නැත.

එතැන තිබු සාල වෘක්ෂයද නොතිබෙන්නට ඇත. ධර්මාශෝක අධිරාජයා අලුතින් ගොඩනැගිල්ලක් තනවා ඇත්තේ එම පැරණි ගොඩනැඟිලි යටකරමිනි.

මෙම නව සොයාගැනීම් පිලිබඳ විස්තර එලිදරව්කල මහාචාර්ය රොබින් කනින්ග්හම් එංගලන්තයේ ඩරම් විශ්වවිද්‍යාලයේ උප කුලපති මෙන්ම පුරාවිද්‍යා අංශාධිපතිවරයාවෙයි. ඔහු කලක සිට බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව සනාථකිරීමේ හැකියාව පිළිබඳව ගවේෂණයන්හි නිරතව ඇත.

යුනෙස්කෝ ආයතනය මඟින් 1997 ලෝක උරුම භූමියක් ලෙස නම් කර ඇති ලුම්බිණියේ නේපාල පුරා විද්‍යා අධිකාරියේ පුර්ණ සහභාගීත්වයෙන්  මේ දිනවල ධර්මාශෝක අධිරාජයා විසින් ඉදිකළ ගොඩනැගිල්ලට යටින් ඇති පුරා වස්තුන් පිළිබඳව සොයාබැලීමේ කැනීම් කටයුතු සිදුකරනු ලබන්නේ භූගෝලවිද්‍යා සඟරාවක අනුග්‍රහයෙනි.  

මෙම ව්‍යාපෘතිය අලලා වාර්තාමය චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටත් එය ලොව වටා බෙදා හැරීමටත් ඔවුහු බලාපොරොත්තු වෙති.

ලුම්බිණියේ පුරවස්තුන් මුල්වරට සොයාගනු ලැබුවේ 1896 දීය. ඒ සඳහා මුලිකව කටයුතු කලේ නේපාල ජාතික පුරාවිද්‍යාඥයෙකුවූ කඩ්ගාර් සම්ෂියර් රානා නමැත්තෙකි. ඔහු අශෝක ස්ථම්භය සහ එය පිටුපස තිබු පැරණි ගොඩනැඟිල්ලෙහි නටබුන් සොයා ගත්තේය.

1978 දී නේපාල රජය ලුම්බිණී පුදබිම වන්දනා භූමියක් ලෙසට ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය ලබාගැනීමේ වැඩපිළිවෙලක් දියත් කළේය. වසර හතක ඇතුලත සම්පුර්ණකිරීමේ බලාපොරොත්තුවෙන් ආරම්භකෙරුන එම ව්‍යාපෘතිය මේ දක්වා සම්පුර්ණ කිරීමට හැකිවී නැත.

සිදුහත් කුමරුන් උපන් ස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ඉමහත් භක්ත්‍යාදරයකින් පැමිණෙන වන්දනාකරුවන් මෙන් නොව පුරාවිද්‍යා වටිනාකමකින් යුතු තැනක් නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය පහසුකම් මදවීමනිසා බලාපොරොත්තු වූ තරම් අදායමක් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එම වැඩකටයුතු නිමා කිරීම ප්‍රමාදවෙමින් පවතින බවට වාර්තා විය.

දැනට ලුම්බිණී පුදබිම වෙත වසරකට විදේශිකයින් 2,50,000 පමණත් නේපාල ජාතිකයින් 5,40,000 පමණත් පැමිණෙන බව නේපාල සංචාරක අමාත්‍යාංශය පවසයි. මේ බොහෝදෙනා එහි පැමිණෙන්නේ වන්දනා මාන කරගැනීමේ අරමුණෙන් නිසා මුදල් විය පැහැදම් කරනුයේ ඉතාම සුළුවශයෙන් බවත් වැඩිදෙනා එහි ගතකරන්නේ එක දවසක් පමණක් බවත් ඔවුන් කියති.

ලුම්බිණිය වෙත පැමිණෙන විදේශික වන්දනා කරුවන්ගෙන් වැඩිදෙනා ශ්‍රී ලාංකික බෞද්ධයින් වීමද විශේෂත්වයකි. මෙම වන්දනා කරුවන් සඳහා පසසුකම් වැඩිදියුණු කළහොත් දැනට වඩා වැඩි වන්දනා කරුවන් මෙන්ම සංචාරකයින්ද ලුම්බිණී පුදබිමට මෙන්ම නේපාලයේ සංචාර සඳහාද යොමුකරගත හැකිබව ශ්‍රී ලංකා නේපාල මිත්‍ර සංගමයේ සභාපති ජගත් සවනදාස මහතා පවසා තිබුණි.

සිදුහත් කුමරුන් ගිහිගෙය අතහැර යනතෙක් සිටි සහ ගෞතම බුදුරජානන් වහන්සේ වැඩවාසය කල බොහෝ ස්ථාන දැනට පුරාවිද්‍යා බිම් ලෙස ආරක්ෂාවී ඇත.
මෙම උත්තම කටයුත්ත සාක්ශාත් කරගැනීම උදෙසා අනුපමේය වෙහෙසක් දරු අනගාරික ධර්මපාල උතුමානන්ද මේ අවස්ථාවේ පිංදී සිහිපත්කල යුතුව ඇත.
මේ සියලු පුණ්‍ය භුමි අතරට බෝසතානන්  වහන්සේගේ උත්පත්තිය සිදුවූ ස්ථානය සහ මහා මායා දේවියට උපකාරවූ සාල වෘක්ෂය තිබු ස්ථානයද මතු යම් දවසක අප සැමට වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා වනු නිසැකය.

මෙය සැබවින්ම අසිරිමත් සිදුවීමකි.


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
PHOTOGRAPHS BY TISSA MADAWELA

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction