යුරෝපයේ බුදු දහම ප්‍රචලිත කිරීමට වෙර දැරෑ යතිවරයෙකුගේ වීර්යය පාරමිතාව

සටහන - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

( මෙම ලිපිහි දැක්වෙන්නේ එහි කතෘ තුමන්ගේ අදහස් බව කරුණාවෙන් සලකන්න)

යුරෝපාකරයට බුදු දහම අවැසිම යුගය වන මේ කාලවකවානුවේදී එම අවශ්‍යතාවය මැනවින් ඉටුවන තරමට සුදුසු පරිසරය ඉතා හොදින් නිර්මාණය වී ඇතැයි කියතොත් එහි වරදක් නොමැත. මන්ද මේ වන විට යුරෝපය පුරාම සීග්‍රයෙන් බුදු දහම ව්‍යාප්ත වන්නට පටන් ගෙන ඇත.  විහාරස්ථාන රාශියක් ස්ථාපිත වී ඇත. ඒ සදහා එකම කාරණාවක් පාදක වේ යැයි කිව නොහැක. මන්ද එය එසේ සිදු වන්නේ කරුණු කාරනා ගණනාවක සංයුතිය නිසාවෙනි. නමුත් එක කාරනාවක් නම් අප හට නොපැකිලිව කිව හැකිය. මන්ද යත් ලංකාවෙන් යුරෝපාකරයට වැඩම කරන ලද භික්ෂූන් වහන්සේලාගෙන් ලද අනගි දායකත්වය වත්මන් බෞද්ධ ප්‍රබෝධය සදහා අතිශයින් බලපෑ ඇති බවයි. එම අතිශය දායකත්වය අපට වචනයකින් දෙකකින් කියා නිම  කළ නොහැක. මන්ද අද වන විට නම් යුරෝපයේ කොහේ හෝ රටක වැඩමකරවීම තුළ සුඛෝපභෝගි ජීවන පැවැත්මක් අපේක්ෂා කළ හැකි නමුත් මීට දසක ගණනාවකට පෙර එවන් තත්වයක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි වන්නේ භෞතික මානයෙන් දියුණු යැයි සම්මත ලෝකයක් එදා යුරෝපයේත් දක්නට නොතිබූ නිසාවෙන් හා භික්ෂුන් වහන්සේලා යුරෝපයට නවකයන් වීම නිසාවෙනි. එම තත්වයන් තුළ එදා යුරෝපයට වැඩම කළ අපේ මහා සංඝරත්නය අනේක විද දුක්ඛ දෝමනස්සයන් විදින්නට ඇත. උන්වහන්සේලා කායිකව හා මානසිකව දුක් විදිමින් සිදු කළ මෙහෙය නොවන්නට බුදු දහම, විහාරස්ථාන, මහා සංඝරතනයට ආදි වශයෙන් යුරෝපය බුදු දහම ප්‍රචලිත කරන්නට   ක්ෂේම භූමියක් නොවනු ඇත. ඒ සදහා කැප වූ සුවිශේෂි සංඝ පීතෘන් වරුන් රාශියක්ම වැඩ හිදිති. ඇතමුන් අපවත් වී ඇත.

අද දවසේ අපේ කතානායකයාණන් වහන්සේ වන්නේ එක්සත් රාජධානියේ, බර්මින්හැම් බෞද්ධ  මහා විහාරාධිපති ආචාර්ය, (0BE) පුජ්‍ය. විතාරන්දෙණියේ කස්සප නාහිමියන්ය. උන්වහන්සේ පිළිබද මෙම සටහන තබනුයේ පසුගියදා සිය දිවියේ 60 වන ජන්ම දිනයට පා තැබීමත් සමග උන්වහන්සේගේ වසර 50 ට ආසන්න පැවිදි දිවයේ අමරණීය සටහන් හා 35 වසරක යුරෝපාකරයේ ලෝක ශාසනික සේවය ඇගයීම වස් රත්මලේ පුඤ්ඤරතන හිමියන් විසින් රචිත “විතාරන්දෙණියෙන් එක්සත් රාජධානියට“ (යතිවරයෙකුගේ වීර්යය පාරමිතා සටහන්) යන චරිතා කතා කෘතිය දොරට වැඩීම අලලාය.

රට, ජාතිය, ශාසනය රකින්නට නියමුවන් බිහිකළ රුහුණු බිමේ උපත ලද කස්සප හිමියෝ සිය ජීවිතයේ වැඩ බිමත් විදු බිමත් බවට කොළඹ, හුණුපිටිය ගංගාරාමය  පත් කර ගත්තහ. එදා ගංගාරාමය අද පෙනෙන දියුණු සහ දර්ශනීය මට්ටමක නොතිබූ අතර අද පවතින තත්වයට අවැසි මූල පූරණයන් එදා වැටෙමින් තිබූ යුගයයි. එවකට සැබවින්ම ගංගාරාම පරිශ්‍රය  මහා වැඩබිමක සිරි ගන්නට ඇති බව අපට මැවී පෙනෙති. ඒ වැඩබිමේ වගිකිව යුත්තන් ලෙස සිය කාර්යභාරය මැනවින් සිදු කළ අප කතා නායකයාණෝ කටුක අත්දැකීම්තුළින් සිය ජීවිතයට  සමීපකරගත් මහා පන්නරය සැකෙවින් අදාළ කෘතියේදී පුඤ්ඤරතන හිමියන් අන්තර්ගත කොට ඇත. පැමිණුන දුක් පැණි රසක් ලෙස අද උන්වහන්සේගේ මුවගින් නිතර පැවසේ. 

ගංගාරාමයෙන් ශාසනික ජීවිතයට මුල  පිරුව උන්වහන්සේ ගංගාරාමයෙන් ලෝකයට දායද කළ මා හැගි වස්තුවක් ලෙසින් අද යුරෝපාකරයේ බුදුදහම උන්නතිය කර රැගෙන යන්නේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් හෙවත් ගලබොඩ ඤාණිස්සර නායක හිමිපාණන්ගේ ජේෂ්ඨතම ශිෂ්‍ය රත්නය ලෙසටය. උන්වහන්සේ අද වන විට එංගලන්තයේ බර්මින්හැම් බෞද්ධ මහා විහාරයට විහාරාධිපතින් වහන්සේ වශයෙන් වැඩ  සිටියද දසක ගණනාවක් තිස්සේ සිදු කරන ලද උත්තුංග ලෝක ශාසනික මෙහෙයේ සාර්ථක ඵලයන් ලෙස රටවල් ගණනාවක අද බුදු දහම ස්ථාපිත වී ඇත. අප්‍රිකානු  මහද්වීපයේ කටුක අමිහිරි අත්දැකීම් විදිමින් උන්වහන්සේ කලෙක ටැන්සානියාවේ හුදකලා සටනක නියලෙමින් බුදුදහම ව්‍යාප්ත කරන්නට වෙහෙසුනහ. ඉතාලිය ආදි රටවලද විහාරස්ථාන ආරම්භ කරමින් භික්ෂුන් වහන්සේලාට අලුතින් විහාරස්ථාන ඉදිකරගනිමින් කටයුතු කිරීමට මූලික අඩිතාලම වැටුනේ අපේ කස්සප නාහිමියන් නිසාවෙනි. නමුදු උන්වහන්සේට ලෝකය වටේ විහාරස්ථාන ආරම්භ කරමින් ඒවායෙහි ආධිපතිත්යවය දරමින් වැජඹීමේ කිසිදු උවමානාවක් නොමැත. එනිසාම එක්සත් රාජධානියේද විහාරස්ථාන කිහිපයක්ම අභිනවයෙන් ආරම්භකොට ඒ ඒ භික්ෂූන් වහන්සේලාට පවරමින් කටයුතු සිදු කොට ඇත්තේ හුදු ශාසනයේ පැවැත්ම පමණක්ම අපේක්ෂා කරන නිසාවෙන්මය. 

විශේෂයෙන්ම උන්වහන්සේගේ ලෝක ශාසනික සේවය යුරෝපයේ ජීවත්වන සිංහල බොදුනුවන්ට පමණක් කිසිසේත් සීමා වූවක් නොව. විශේෂ වශයෙන්ම මා සියැසින් දැක අත්දැකීමෙන් ලද දෑ අනුව උන්වහන්සේගේ සේවය සියලු දෙනා වෙත පොදු වූවකි. මන්ද මා එංගලන්තයට වැඩම කොට උන්වහන්සේගේ විහාරස්ථානයේ වැඩ වාසය කළ බොහොම සුළු කාල සීමාව තුළදී මා දුටුවේ වැඩියෙන්ම චීන ජාතික බෞද්ධයන්, මැලේසියන් ජාතික බෞද්ධයන්, වියෙට්නාම්, ඉන්දියානු, නේපාල, තායිලන්ත, එංගලන්ත ජාතික ආදි බෞද්ධ හා අබෞද්ධ පිරිස් විහාරස්ථානයට සම්බන්ධ වී තිබීමයි. මා හටද එය නවමු අත්දැකීමක් විය. එමෙන්ම ලාංකික බෞද්ධයන්ගෙන්ද අඩුවක් නොවූහ. 

එමෙන්ම විදේශගතව ජීවත්වන ඇතැම් භික්ෂූන් වහන්සේලාට හා බෝහෝ සිංහල ජනතාවට කාලායාගේ ඇවෑමෙන් තමන්ගේ මව්බිම අමතක වනවා පමණක් නොව නිර්දය ලෙස මව්බිට පහර දෙනුද දැකිය හැකිය. එවන් සමයක අප නායක හිමිපාණන් වහන්සේගේ අනූපමේය ශාසනික සමාජීය ජාතික සේවය කිසිදු අඩුවක් නැතිව සිය මව්බිමටද ලැබෙති. නොයෙක් පිරිස් හා නොයෙක් සංවිධාන පිහිටුවා ගනිමින් ඒවායෙහි වගකීම් දරමින් උන්වහන්සේ සිය සේවය මව්බිම වෙනුවෙන් මව්බිමට අවැසිම මොහොතේදී සිදු කරනු ලබයි. ඒවා පිළිබද එකිනෙක කරුණු පැවසීමට කාලය ගැනීමට පොල්කටුවකින් මුහුද  දරන ප්‍රයත්නයක් හා සමානය. විශේෂයෙන්ම මුළු මහත් හදවත් කම්පා කරවමින් ඇති වූ සුනාමි ව්යසනයේදී ලංකාව වෙනුවෙන් මෙරට සිට සිදු කළ පරිත්‍යාග ප්‍රමාණය මුල්‍යම වශයෙන් ගණනය කළ නොහැකි තරම්ය. සියලු පරිත්‍යාග රැගෙන මව්බිමට ගොස් එදා උන්වහන්සේ සියතින්ම ඒ සියල්ල සුදුස්සන් වෙත යොමු කරමින් දැක් වූ සේවය අති මහත්ය. ඒ එක් නිදසුනක් පමණි. විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් නම් ලංකාවේ යුද්ධය නිමා වී සිව් වසරකටත් අධික කාලයක් ගතව ඇතත් ඒ මගින් සිංහල ජනතාවට සිදු වූ සුගතියක් නොමැති වීම පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලද උන්වහන්සේ මේ වන විට එංගලන්ත සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති වෛද්ය එම්.බී රණතුංග මැතිතුමා ආදීන් සමග සම්බන්ධ වී ඒ සදහාද කටයුතු සිදු කරනු ලබයි.

ඉහතින් සදහන් කළ පරිදි උන්වහන්සේගේ සේවය එක් ජන කොටසකට පමණක් සීමා නොවීය. එහි ඇති නිරවද්‍ය භාවය මැනවින් තහවුරු වන්නේ උන්වහන්සේගේ නායකත්වයෙන් 1992 ආරම්භ කරන ලද IBRO  (INTERNATIONAL BUDDHIST RELIFE ORGANIZATION ) ජාත්යන්තර බෞද්ධ සහන අරමුදලයි.  මෙහි සේවය  කිසිසේත් බොදුනුවන්ට පමණක් සීමා වූවක් නොව. ලෝකයේ ආපදාවන්ට ලක්වන විවිධ ජන කොටස්වලට මේ මගින් සිදු කොට  ඇති මෙහෙය අති මහත්ය. ඒ පිළිබදවද එකිනෙක ගෙනහැර දැක්වීම ඉතා අපහසු කටයුත්තකි. උන්වහන්සේගේ මෙම සියලු මෙහෙවර පිළිබදව වටහා ගත හැකි හොදම අවස්ථාව නම් උන්වහන්සේ මහා බ්‍රිතාන්‍යයේ එළිසෙබෙත් රැජිනගෙන්  සම්මානයට පාත්‍ර වීමයි. එම සම්මානය ලැබීම සුළු පටු වූවක් නොව. මන්ද වෙන රටකින් ගොස් ඒ රටේදී සම්මානයට පාත්‍රවීම පිළිබදව අමුතුවෙන් කරුණු පැවසිය යුතු නැත. OBE (ORDER OF BRITISH EMPIRE) මෙම සම්මානය සැබවින්ම සුදුස්සාට සුදුදු තැන ලැබීමකි. එපමනණක් නොව රුහුණු විශ්ව විද්‍යාලයෙන්  ආචාර්ය උපාධියෙන්ද පිදුම් ලබා ඇති මුන් වහන්සේට ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද සම්මාන ගෞරවයන්ගෙන් පූජනීයත්වයට ඔසවා තබා ඇත. පසුගිය සමයන්හීදි ඊට අදාළ උත්සවයන් අරලියගහ මැදුරේදී පවත්වන්නට යෙදිණ. 

බෞද්ධ උපදේශකවරයෙකු ලෙස බර්මින්හැම් සරසවියේ මෙන්ම ඇස්ටන් සරසවියේද කටයුතු සිදු කරන මුන් වහන්සේ අධ්‍යාපනික, සංස්කෘතික, සාමාජීය ආදි සෑම අංශයකම කැපී පෙනෙන ජාත්‍යන්තර මානව හිතවාදියෙක් ලෙස කටයුතු සිදු කරනු ලබන්නේ සැම හිතසුව පිණිසමය. 

භික්ෂුවක් සතුවියයුතු  ශ්රේෂ්ඨ ගුණාංගයක් ලෙස බුදුරජාණන්වහන්සේ දැක්වූයේ උජුපටිපණ්න ගුණයයි. එම ගුණය අපේ කස්සප නාහිමියන්ගෙන් මනාව පිළිබිඹු වේ. පසුගියදා ලන්ඩන් මහා විහාරයේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමන්ගේ 149 වන ජන්ම දින සැමරුම් උත්සවය පැවැත්විණ. එහිදී කිව යුත්ත අදාළ තැනදී අදාළ කෙනාට නොබියව පැවසීමේ ගුණය මා මැනවින් දුටුවෙමි. වර්තමානය වන විට ලංකාවේ නම්දරාපු ඇතැම් භික්ෂුන් වහන්සේලා බුදු දහමට වින කටින නවතම ක්‍රමෝපාය වන සර්වාගමික මර උගුලට  වැටී භෞතික සැප පසුපස හඹා යද්දී එම කටයුත්ත යුරෝපයේ සිටින අපේ හිමිවරුන්ට ඉතා හොදින් කිරීමට අවැසි සියලුම පරිසරය නිර්මාණය වී  තිබුනත් එසේ නොකොට අපේ කස්සප හිමියන් එදා ලන්ඩන් විහාරයේදී ලංකාවේ නම් දරාපු එවන් හිමිනමක් ඉදිරියේම සිය කතාව පවත්මින් සිය ගුණය උත්කෘෂ්ඨ ලෙස පෙන්නුම් කරන ලදී. එහිදී ප්‍රධාන දේශන අතර සිංහල දේශනය පවත්වන ලද්දේ බ්‍රිතාන්‍යයේ මහා සංඝනායක බර්මින්හැම් මහාවිහරාධිපති අතිපුජ්‍ය ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නායක හිමියන් විසිනි. එහිදී අදහස් දැක් වූ උන්වහන්සේ අද වන විට ධර්මපාලතුමාගේ අරමුණු හා බලාපොරොත්තු  එතුමාගේ සුරතින් හා දහදිය මහන්සියෙන් අනේකවිධ කැපකිරීම් කරමින් නිර්මාණය කළ ආයතන තුළින් පවා ගිලිහිලා. ධර්මපාලතුමා  අනෙක් ආගම් වලට ජාතීන්ට ගැරහුවේ නැහ. එතුමා වැරදි කරන සිංහලයන් නිවරදි මාවතට යොමුකිරීම සදහා ආදරය කරැණාව පෙරදැරිව  ‘‘හරකා, ගොනා, තක්කඩියා“ ආදි ලෙස පවා ආමන්ත්‍රණය කළා. ඒ අපේ උන්ටික හදා ගන්න. නමුත්  විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපි දුටුවා පසුගිය වසරේ කොළඹ පිහිටි මහාබෝධි සමාගමේදී ඉස්ලාම් භක්තිකයන් විසින් සිය ආගමික් උපවාසය අහවර කරමින් ගෙරිමස් ආදිය මහා උජාරුවට භුක්ති විදිනවා. එම දර්ශනය දුටු බෝහෝ පිරිසක් අපෙන් අහනවා , මොකක්ද මේ වෙන්නේ හාමුදුරුවනේ  ඇයි ඔබ වහන්සේලාත් මේවාට නිහඩව ඉන්නේ කියලා. ඇත්තටම අපි මොකක්ද ඒ මිනිස්සුන්ට දෙන උත්තරය. ලැජ්ජයි. මහා බෝධියේ හැර වෙනත් ස්ථානයක මේ සිදුවීම සිදුවූවා නම් අපිට මොක්ක හරි කියන්න පුලුවන් නමුත් අපි මේකට කොහොමද උත්තර දෙන්නේ? හරිම කණගාටුයි, නැති සහජීවනයක්  මවාගෙන මේවාට උඩගෙඩි දෙන ඇතැම් ආචාර්ය, මහාචාර්ය හාමුදුරුවරුත් ඉන්නවා. ධර්මපාල උතුමාණන්ගේ ගුණ සැබෑවටම අනුස්මරණය කරනවානම්, එතුමාගිය මග අපි සැබෑවටම යනවානම් අපිට කවදාවත් බුද්ධ චීවරය මේ විදියට සර්වාගමික මිත්‍යාව වෙනුවෙන් පාවඩයක් කරන්නට බැහ. අද අපි යුරෝපයේ මේ විදියට විහාරස්ථාන හදාගෙන ශාසනික සේවාවන් සිදු කරන්නේ එතුමා නිසා. ලන්ඩන් බෞද්ධ මහා විහාරය එහි මූලස්ථානය. එතුමා ආරම්භ කරපු ස්ථානය. එතුමාගේ අරමුණු වගේම මේ ස්ථානත් අනාගත ලෝකයා වෙනුවෙන් ආරක්ෂා  කිරීම අපි සැමගේ යුතුකමක් හා වගකීමක්. බවද උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්හ. 

ලන්ඩන් බෞද්ධ විහාරයේ පැමිණ සිටි කාගේත්, විශේෂයෙන්ම අනාගාරික ධර්මපාල තුමාගේ ජාතික හා ශාසනික මෙහෙවර අගය කරන  " වල් අලින් ,ගොන් තඩියන් , කළු සුද්දන් නොවන " ජාතිමාමක ශාසන මාමක  සියළු දෙනාගේම පැසසුමට ලක්වුබව උන්වහන්සේගේ අනුශාසනාව අවසානයේ පැමිණ සිටි සියළු දෙනාම එක් උස්  හඩින් මුළු ශාලාව ගිගුම් දෙන්නට පැවැත්වූ සාදු නාදයෙන් පසක් විය.

මේ සියලු සත් කටයුතු අතරතුර උන්වහන්සේ සුවිශාලම කටයුත්තකට අත ගසා ඇත. ඒ යුරෝපයේ සුවිශාලම විහාරස්ථානය ඉදිකිරීමටයි. මේ අනුව නොබෝ කලකින් බර්මිංහැම් බෞද්ධ මහා විහාරය චිරාත් කාලයක් ලෝක ශාසනික සේවය පිණිස සසුනට හිමිවනු ඇත. මේ සියලූම සත් කටයුතු සදහා උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය හා කායික සුවය අප එක සිතින් ප්‍රාර්ථනා   කර සිටිමු.  

ඔක්තෝබර් මස 19 වන දින සවස බර්මිංහැම් බෞද්ධ මහා විහාරයේදී මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා ඇතුළු සම්භාවනීය මහා සංඝරත්නය ආදි පිරිසගේ සහභාගිත්වයෙන් “ විතාරන්දෙණියෙන් එක්සත් රාජධානියට“ නැමැති කෘතිය දොරට වැඩීමේ මහඟු පිංකම පවත්වනු ලැබිය.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction