නෙක හැඩ මැවූ සරච්චන්ද්‍ර බස ‍මහාචාර්ය ජේ. බී. දිසානායක

නෙක හැඩ මැවූ සරච්චන්ද්‍ර බස ‍මහාචාර්ය ජේ. බී. දිසානායක J.B.Dissanayaka | SARACHCHANDRA

මහාචාර්ය සරච්චන්ද්‍රයන් ශාස්ත්‍රාලෝකය එළිය කරපු යුගයෙහි දකින්නට තිබුණු ප්‍රධාන ලක්ෂණය තමයි ඔහුගේ සමකාලීන ශාස්ත්‍රඥයන්  සියලු දෙනාට ම පාහේ භාෂා භාෂාන්තර පිළිබඳ තිබූ හසළ දැනුම. ඔවුන් බොහෝවිට තම ශාස්ත්‍ර ජීවිතය පෙරදිග භාෂා අංශයෙහි පැතිරුවත් ඒ සියලු දෙනාට ම පාහේ සිංහල, ඉංග්‍රිසි, පාලි, සංස්කෘත පමණක් නොව ලතින් හා ප්‍රංශ වැනි භාෂාවන් පිළිබඳ ව ද හොඳ  දැනුමක් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අති විශාල ඥානකෝෂයක් ඔවුන් සියලු දෙනා ම සතු වූවා.

ඒ නිසා භාෂාවෙන් නිවැරදි ව වැඩ ගත යුතු ආකාරය පිළිබඳ ඔවුනට මනා වැටහීමක් තිබුණා. මහචාර්ය සරච්චන්ද්‍රයන් හා මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි ඒ අතර සුවිශේෂී වියතුන් දෙදෙනකු වුණා. එහෙත් මහාචාර්ය හෙට්ටිආරච්චි තමන්ගේ අතිවිශාල දැනුම් සම්භාරය හුදෙක් ශාස්ත්‍රීය අංශයට පමණක් වෙන් කළ අතර මහාචාර්ය සරච්චන්ද්‍ර ඔහුගේ ශාස්ත්‍රඥානය, ශාස්ත්‍රීය අශයට පමණක් නොව නිර්මාණකරණයට ද පැතිරුවා. එමෙන් ම ඒ අංශ දෙක ම එක ලෙස ජයගත්තා. සරච්චන්ද්‍රයන් හරහා ගොඩනැඟු‍ණු ශාස්ත්‍ර සම්ප්‍රදාය හා නිර්මාණාත්මක ශිල්පීය සම්ප්‍රදාය අපේ සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ නොමැකෙන ලෙස සටහන් වී තිබෙනවා. ඒ නිසා ශාස්ත්‍ර සම්ප්‍රදායට පදනම් වන බුද්ධිමය ලක්ෂණත් නිර්මාණකරණය සඳහා අවශ්‍ය ශිල්පීය ලක්ෂණත් යන ලක්ෂණ දෙක ම සමබර ව පවත්වා ගිය ප්‍රධාන සාහිත්‍යකරුවා වනුයේ ඔහුයි.

සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය සේවාව අංශ කීපයක් යටතේ සාකච්ඡා කළ හැකියි. ඒ හැම අංශයක ම දක්නට ලැබෙන පොදු ලක්ෂණය වනුයේ සිංහල බස හැසිරවීමෙහි ලා ඔහු දක්වන කුසලතාවයි. සැබැවින් ම සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් සිංහල භාෂාව සුඛනම්‍ය භාෂාවක් බවට පත් කළේ ඔහුයි. ඔහු කිසියම් ශාස්ත්‍රීය කරුණක් පිළිබඳ අදහස් දැක්වීමෙහි දී පවා එය ඉතා රසවත් ලෙසත්, සුඛනම්‍ය ලෙසත් ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තා. සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය කරුණක් පිළිබඳ කෙරෙන සාකච්ඡාවක දී බස රසවත් විය යුතු නැහැ. අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වනුයේ එහි ශාස්ත්‍රීය අංශයට පමණයි. එහිදී භාවිතා වන වචන කෝෂය එයට ම හිමි වචන කෝෂයක් විනා රසවත් බසක් නොවේ.

එහෙත් සරච්චන්ද්‍රයන් “සාහිත්‍ය විද්‍යාව” “කල්පනා ලෝකය” වැනි කෘති තුළ දී යම් යම් ශාස්ත්‍රීය කරුණු පවා ඉතා සරල ව, රසවත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට වෙහෙසෙනවා. එහෙයින් එම කෘති හරහා පාඨකයන්ට ශාස්ත්‍රීය දැනුමක් මෙන් ම රසයක් ද ඇතිවෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඒ කෘති ‍ෙකාපමණ වාරයක් කියෙව්වත් කවදාවත් අහක දමන්න බැහැ. එහි අගය දිනෙන් දින වැඩිවෙනවා. එහි රහස ඇත්තෙ එම කෘති සඳහා සරච්චන්ද්‍රයන් උපයෝගී කොට ගත් භාෂාවෙහි ඇති අමරණීයත්වය වගේ ම බස හරහා නිර්මාණය කරනු ලබන ගැඹුරු සාහිත්‍යමය මතවාද. මේ කෘති පොදු පාඨකයා අතට පත් වු‍ෙණ් එහි ප්‍රතිඵලයක් ලෙස. ඔහු මෙම කෘති රචනා කරන ලද්දේ භාෂා හා සාහිත්‍ය විශාරදයන්ට නොවේ.

සාහිත්‍යය පිළිබඳ ඇල්මක් ඇති පොදු ජනයාට. එහෙයින් මෙහි යොදාගෙන ඇති ශිල්පීය විධි ක්‍රමයන් ද ඉතා සරලයි. ඔහු කිසිවිට දිගු වැකි ලියුවෙ නැහැ. ඔහු හැමවිට ම යොදා ගත්තෙ කෙටි වැකි. ඉතා සරල රචනා ශෛලියක් අනුගමනය කළත් එහි දිස්වෙන ගැඹුර ඉතා පුළුල්. එහෙයින් මේ කෘති පරිශීලනයෙන් පාඨකයාට ලැබෙන ඥානය ද රසය ද ඔවුනගෙ පරිකල්පනා ලෝකය තවදුරටත් පුළුල් කරනවා. ශාස්ත්‍ර ගවේෂණයට යොමු කරවනවා. නමුත් වර්තමානයේ බිහිවෙන බොහෝ කෘති තුළින් මේ එක ම ලක්ෂණයක් වත් පෙනෙන්නට නැහැ.

සරච්චන්ද්‍රයන් ගේ භාෂා භාවිතයෙහි තවත් කැපී පෙනෙන ලක්ෂණයක් වනුයේ ප්‍රබන්ධකරණය සඳහා ඔහු යොදාගත් මැද මාවත. සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ ඉහළ ගණයේ බුද්ධිමතකු වුවත් ඔහු කිසිවිට ප්‍රබන්ධකරණය සඳහා යොදා ගත යුතු භාෂාව අමාවතුර, බුත්සරණ යුගයට ගෙන ගියේ නැහැ. ඒ වගේම එදිනෙදා භාවිතා වන ව්‍යවහාර බසට ද ගැති වුණේ නැහැ. ඔහු එම අන්ත දෙක අතරෙ බිහිවන භාෂාවක් නිර්මාණය කිරීමට සමත් වුණා. සැබැවින් ම ප්‍රබන්ධකරණයට අවශ්‍ය ප්‍රායෝගික භාෂාව ඔහු ඉතා සුක්ෂ්මව ගොඩනඟා ගත්තා. එහෙයින් ඔහුගෙ නවකතා, කෙටිකතා, පරිවර්තන තුළ අඩංගු භාෂාව සැබැවින් ම නිර්මාණාත්මක භාෂාවක්.

එහි නැවුම්සහගත ස්වභාවය අද පවා අපට අත්විඳින්න පුළුවන්. “ධර්මිෂ්ඨ සමාජය” වැනි සමාජ, දේශපාලන විචාර කෘතියක පවා මේ ලක්ෂණය පැහැදිලි ව හඳුනාගත හැකියි. “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” “අසම්පූර්ණ චාරිකා සටහන්” වැනි කෘති ද මේ සඳහා දැක්විය හැකි ප්‍රබල නිදසුන්. මේ අනුව ප්‍රබන්ධකරණය සඳහා මැද මාව‍ෙත් භාෂාවක් යොදාගත් සරච්චන්ද්‍රයන් ඒ හරහා ප්‍රබන්ධකරණයට අවශ්‍ය ප්‍රායෝගික බසක් නිපද වූවා. මේ ලක්ෂණය පෝෂණය කරන ලද, අනුගමනය කරන ලද අනිත් ලේඛකයා වූයේ මාර්ටින් වික්‍රමසිංහයි. මාර්ටින් වික්‍රමසිංහයන් ගේ හා සරච්චන්ද්‍රයන්ගේ මේ ප්‍රායෝගික භාෂාවෙහි ඇති වැදගත්කම වඩා හොඳින් කැපී පෙනෙන්නේ පියදාස සිරිසේන, ඩබ්.ඒ.සිල්වා වැනි නවකථා කරුවන්ගෙ කෘති පරීක්ෂා කිරීමෙන්.

සරච්චන්ද්‍රයන්ගෙ ප්‍රතිභාව ව්‍යක්ත ලෙස අපට හඳුනාගත හැක්කේ කාව්‍යකරණයෙහි ඔහු දක්වනු ලබන දුලබ ප්‍රතිභාශක්තිය තුළ. ඔහුගේ සෑම පද රචනාවක් ම කාව්‍යමය ගුණයෙන් අනූනයි. කව් ලැකිය හා ලෙව් ලැකිය ඇසුරෙහි ඔහු බිහිකරන ලද රසවත් කාව්‍ය, ගේය පද රසයෙන් මෙන් ම සාහිත්‍යමය ගුණයෙන් ද පෝෂිතයි. කවියට පමණක් යොදාගත හැකි වචනවලින් සමන්විත කව් ලැකිය ද සංස්කෘත බස මිශ්‍ර වූ ලෙව් ලැකිය ද එකට සංයෝග කිරීමෙන් ඔහු නිර්මාණය කරන ලද වේදිකා නාටක ගීත තුළ නින්නාද වන ස්වර මාධූර්ය අර්ථයෙන් ද ශබ්දයෙන් ද ඒ ගීත රස විඳින්නා තුළ ඇති කරනු ලබන හැඟීම් සමුදාය ඉතා පුළුල් ය. උදාහරණයක් ලෙස ‘මනමේ’ නාටකය තුළ ගැයෙන “ප්‍රේමයෙන් මන” ගීතය ගනිමු. එහි “ප්‍රේමයෙන් මන රංජිත වේ - නන්දිත වේ” යන්න සම්පූර්ණයෙන් ම සංස්කෘත. එය ලෙව් ලැකිය මත පදනම් වෙලා තියෙන්නෙ.

එහි දෙවන පාදයේ හමුවන “පිපි තඹරණ - නද බමරණ” යන්න තනිකර ම කාව්‍ය භාෂාව ඒ කියන්නෙ කව් ලැකිය. මේ ආකාරයට කව් ලැකිය හා ලෙව් ලැකිය ඇසුරෙහි නිර්මාණය වූ රසවත් ගීත රාශියක් ඔහුගෙ නාට්‍ය වංශය හරහා අප හඳුනාගත හැකියි. ඒ වගේම තමයි නාටකයට යොදාගනු ලබන ප්‍රස්තුතයට හා පසුබිමට ගැළපෙන ලෙස නාට්‍යමය භාෂාවක් ගොඩනඟා ගැනීමට ඔහු ලබාදුන් දායකත්වය. “පේමතෝ ජායතී සෝකෝ” තුළ හමුවන්නෙ එක භාෂා ශෛලියක්. රංග ශෛලියක්. “ලෝමහංස” නාටකය එයින් වෙන් වෙනවා. ඒ නිසා එහි ඔහු යොදාගන්නා බස ද ගීත ද වෙනත් ස්වරූපයකින් රචනා වෙනවා. “මහාසාර” නාටකය “බව කඩතුරාව” “වෙස්සන්තර” මේ සෑම නාටකයකින් ම අපට අලුත් අලුත් රචනා විලාසයක්, රංග විධි ක්‍රම හමුවෙනවා. එපමණක් නොවේ ජන සාහිත්‍යයෙන් පවා සරච්චන්ද්‍රයන් ‍පොහොසත් වී ඇති බව “වෙල්ලවැහුම්”, “එළොව ගිහින් මෙලොව ආව” වැනි නාටක පෙන්වා දෙනව.

“කදාවළලු” වැනි ළමා ධ්වනි ගුණයෙන් පිරිපුන්. නාට්‍යමය ගුණයෙන් නාටකයක් එයට ගැළපෙන ආකාරයට නිර්මාණය වෙනව. මේ සෑම නිර්මාණයක් තුළ ම සරච්චන්ද්‍රයන් ගෙ භාෂාව සතු නිර්මාණාත්මක හැකියාව පැහැදිලි ලෙස පෙන්නුම් කෙරෙනවා. ඒ අතරත් “සිංහබාහු” නාටකය සරච්චන්ද්‍රයන්ගෙ නාට්‍ය වංශයෙ මුදුන්මල්කඩ ලෙස සලකන්න පුළුවන්. එහි එන සෑම පද රචනාවක්ම පිරිපුන්.

සංගීතමය පක්ෂය අතින් පිරිපුන්. රංගනය අතින් පිරිපුන්. සරච්චන්ද්‍රයන්ගෙ “මනමේ” “සිංහබාහු” මුල් නිෂ්පාදන නැරඹූ පසු අපි ඉතා විශ්මයට පත්වුණා. සාහිත්‍යධරයකුට මෙතරම් පුළුල් නිර්මාණ කිරීමට හැකිවීම ම පුදුමයක්. ඒ සෑම දෙයක් පිටුපස ම තියෙන්නෙ, ඒ සෑම දෙයක ම අඩිතාලම වෙලා තියෙන්නෙ භාෂා භාෂාන්තර සම්බන්ධයෙන් ඔහුගේ ඇති පුළුල් ඥානකෝෂය. ඒ හරහා බිහිවන නිර්මාණාත්මක පරිකල්පන ශක්තිය. වර්තමානයේ දකින්නට නොලැබෙන්නේ ද මෙම ලක්ෂණයයි. වර්තමාන පරපුරට අවම වශයෙන් සිංහලත් බෑ. ඉංග්‍රීසිත් බෑ. එවැනි වටපිටාවක ‍වනත් දැනුම් පිළිබඳ කුමන කතාද?

සරච්චන්ද්‍රයන් ඉංග්‍රීසියෙන් රචනා කරන ලද ග්‍රන්ථ තුළ ද දකින්න පුළුවන් වෙන්නෙ ඔහු සිංහලෙන් කරන ලද විස්මයමයි. ඔහුගෙ ඉංග්‍රිසි දැනුම ඇසුරෙහි බිහි වූ සෑම කෘතියක් ම පාහේ භාෂාත්මක අතින් මෙන් ම පර්යේෂණාත්මක අතින් ද ඉතා වැදගත් වෙනව. ඔහු ආචාර්ය උපාධිය වෙනුවෙන් ඉංග්‍රිසියෙන් රචනා කරන ලද Buddhist Psychology of Perception යන නිබන්ධය ඒ විෂය සම්බන්ධයෙන් ලියවී ඇති ඉතා වටිනා නිබන්ධයක්. දර්ශනය වැනි විෂයයක් පිළිබඳ සිංහලෙන් හෝ වටිනා කෘතියක් බිහිකිරීමට ඉතා අමාරුයි. එහෙත් සරච්චන්ද්‍ර ඉහත කෘතිය රචනා කිරීම මඟින් ඒ අභියෝගය ද ඉතා සාර්ථක ව ජයගත්ත. ඔහුගේ ඉතා වටිනා පර්යේෂණ ග්‍රන්ථයක් වූ “සිංහල ගැමි නාටකය” ඔහු මුලින් රචනා කරන ලද්දේ ඉංග්‍රිසි භාෂාවෙන්. එය The Folk Drama of Ceylon යන්නෙන් ප්‍රකාශයට පත්වීමත් සමඟ ම සිංහල ගැමි නාටක සම්ප්‍රදාය පිළිබඳ උගතුන්ගේ අවධානය යොමු වූවා. මෙය ඉංග්‍රිසි භාෂාවෙන් පළමුවෙන් පළ ‍නාවන්නට ඒ පිළිබඳ ව උගතුන්ගේ අවධානය යොමු නොවීමට ඉඩ තිබුණා. ඒ කඩඉමත් ඔහු ඔහුගේ ඉංග්‍රිසි භාෂා දැනුම තුළින් ජයගත්ත. With the Begging Bowl කෘතිය ද “හෙට එච්චර කළුවර නැහැ” සිංහල නවකතාවෙහි ඉංග්‍රිසි පරිවර්තනය වන Curfew and Full Moon කෘතිය ද එතුමා සතුව තිබූ ඉංග්‍රීසි දැනුමෙහි විපුල ප්‍රතිඵලයි.

හැබැයි මේ හැම නිර්මාණයක් එතුමා සිදුකළේ බොහෝ විවේචන ‍මධ්‍ය‍යේ. ප්‍රබන්ධකරණය තුළ එතුමා ‍ගත් භාෂාත්මක මඟ හෙළ හවුලේ දැඩි විරෝධයට ලක්වුණා. සුබස හරහා සරච්චන්ද්‍රයන්ගෙ භාෂා විධි ක්‍රම දැඩි ලෙස වි‍ෙව්චනය කළා. ඒත් එතුමා නොසැළී තමන්ගේ ගමන් මඟ ගියා. එතුමාගේ නාට්‍ය සම්බන්ධයෙනුත් විවිධ විචාරකයන් විවිධ මත පළ කළා. සමහර විචාරකයන් ඔහුගේ නාට්‍ය දෘෂ්ටිය දැඩි ලෙස විවේචනය කලා. එහෙත් සිංහල නාට්‍ය වංශයෙ ආරම්භකයා වශයෙන් සරච්චන්ද්‍රයන්ගේ නාමය හැමදා අමරණීයයි.

ඔහු ලියූ ගද්‍ය පාඨයන් වුව ගේය පදයක් වගේ. ඒවා රස පූර්ණයි. ධ්වනි පූර්ණයි. අර්ථ පූර්ණයි. මෑත දී මගේ මිත්‍රයෙක් පැවසූ පරිදි, සරච්චන්ද්‍රයන්ගේ කිසිදු රචනාවක්‍ ගේය පදයක් වුණා මිසක් වර්තමානයේ මෙන් “ගාය” පද වුණේ නැහැ.

වසන්ත දෙව්දුව සමුගන්නට යයි
රුප්පා මුල ඇද හැලේය පරමල්
ලොවේ සොඳුර මැලවී නැති වී යන
සමයයි එළඹෙන්නේ
වසන්ත දෙව්දුව සමුගෙන ගිය කළ‍
ලොවේ සොඳුර මැලවී නැති වුණු දා
රුප්පාවල විසිරී ඇති පරමල්
කවුද නෙළා ගන්නේ?

(විලාසිනියකගේ ප්‍රේමය)


සංලාපය සුලෝචන වික්‍රමසිංහ - සිළුමිණ  - පුන්කලස 2013 ජුනි 30


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction