ඔබාමා මැතිණියට " ජුවල් යයි".

ඔබාමා මැතිණියට " ජුවල් යයි". Photo By Craig ONeal (Michelle Obama in Jacksonville) [CC-BY-SA-2.0 (http://creativecommons.org/licenses/by-sa/2.0)], via Wikimedia Commons

පිළිගත් චාරීත්‍රයන්ට අනුව ඇමෙරිකානු ජනාධිපති හෝ ජනපති බිරිඳ ප්‍රසිද්ධියේ පෙන්වනුලබනේ ශාන්ත දාන්ත කිසි කලබලයක් නැති සුද්ධවන්ත චරිත ලෙසටය. ධවල මන්දිරයේ පෞද්ගලික නිවාසයේ දොරටුවෙන් පිටතට ඔවුන් හැසිරිය යුත්තේ බෝධිසත්ව ගුණෝපේත අතිඋත්තම මිනිසුන් ලෙසටය.

ඔවුන්හට මේ හැසිරීම් රටාව පුරුදු පුහුණු කිරීමට ඒ පිලිබඳ සුවිශේසී දැනුම් සම්භාරයක් ඇති විශේෂඥ උපදේශකවරු කණ්ඩායමක් සිටිති. ඇමෙරිකානු ජනාධිපති හෝ ඔහුගේ පවුලේ කිසිකෙනෙක්  කිසි දිනක කට කැඩිච්ච කතා කියන්නේ නැත. ඔරවන්නේ නැත. ගොරවන්නේ නැත. අඩුගනනේ මොන කරදර ප්‍රශ්න වලට මුහුණ පෑවත් මුණ ඔරොක් කරගන්නේවත් නැත.

එසේවන්නේ ඔවුන් වෙනුවෙන් ගෙදර පවත්වාගෙන යන උපකාර පන්ති වලදී කියාදෙන ක්‍රියා පරිපාටිය ඔවුන් සියලුම දෙනා අකුරටම පිළිපදින නිසාය.

කොහොම උනත් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා වැඩිදෙනා පිළිගන්නේ බොරු චාටු නැති මහපොළොවේ කකුල් දෙකම තියාගෙන ඉන්නා නිරහංකාර මිනිසෙකු ලෙසය. ජනතාව ඉදිරියේ ඔහු සිනාමුසු මුහුණක් පෙන්වන්නේත්, පාරේ ඇවිද යනවිට සාමාන්‍ය මිනිසුන් සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නෙත්, කඩ පිලකට ගොඩවී තේ වතුර උගුරක් බොන්නේත් මුණ ඉච්චාවට නොව අවංක චේතනාවෙන් බව ඇමෙරිකානුවන් බොහෝදෙනා විශ්වාස කරති. ඒ ඔබාමාගේ හැටිය.එයා එහෙම උනාට එයාගේ ගෙදර හැමෝටම ඒ ගතිගුණ පිහිටා නැත.

ඉතින් ඒ සමහර දෙනාට අර උපකාර පන්තිවල කියාදෙන දේ පිළිපදින්නට කොච්චර උත්සාහ කළත් සමහර අවස්ථාවල එය පීලිපනින අවස්ථාවන්ද නැතුවා නොවේ.

එවැනි සිදුවීමක් පිළිබඳව පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

ඒ අසාමාන්‍ය කතාව මෙයයි. ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ බිරිඳ මිෂෙල් ඔබාමා පසුගියදා වොෂින්ටන් නුවරදී පක්ෂ ප්‍රචාරක රැස්වීමක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය. දේශනය අතරතුර කාන්තාවක් අවහිර කරමින් කෑකෝ ගසන්නට පටන්ගෙන ඇත. සමලිංගික සම්බන්ධතාවයන්ගේ වරදක් නැති බව කියමින් එම කාන්තාව දිගටම කතා කරන්න උත්සාහ කලාය.

මිෂෙල් ඔබාමාගේ රතු කට්ට පැන්නේ මේ වේලාවේදීය.ගෙදර උපකාර පන්තිවල දී උගත් සංයමය ඇයට අමතකවිය.

කතාව නවතා දැමු ඔබාමා මැතිනිය සමලිංගික සම්බන්ධතාවයන් හරිම හොඳයි කියමින් තම දේශනයට අවහිර කල කාන්තාව වෙත කෙලින්ම ගියාය.

"මොකද කියන්නේ මගේ කතාව නවත්වල ඔහෙට මයික්‍රෆෝනය දෙන්නද" මිෂෙල් ඔබාමා එම කාන්තාවගේ මුහුණටම ඇසුවාය. මිෂෙල් ඔබාමාගේ කාල වර්ණ මුහුණ රතු පැහැ ගැන්වී තිබුණි. නියත වශයෙන්ම ඇයට "යකා නැග" තිබුන බව එතැන සිටි සියලු දෙනාටම පෙනී ගියේය. ඒ සියල්ලෝම මේ සිද්ධිය තූෂ්නීම්භුතව කට ඇරගෙන බලාසිටියේ කුමකින් කුමක් වේදැයි සිතමිනි.

ඔවුනට වැඩිවෙලාවක් කට ඇරගෙන ඉන්නට ලැබුනේ නැත.

නැවත වතාවක් සෙනග දෙසට හැරුන මිෂෙල් ඔබාමා " ඔය ගොල්ලෝ මොකද කියන්නේ. මගේ කතාව නවත්වල මෙයාට කතා කරන්න කියන්නද?" කියා විමසා සිටියාය.

ශාලාව පිරී ඉතිරී සිටි සෙනඟ කන් බිහිරිවන හඬින් " අපොයි එපා අපි අවේ මිෂෙල් ගේ කතාව අහන්නයි" කියා බෙරිහන් දුන්නාහ.

මිෂෙල් ඔබාමා පිරිවරා සිටි ආරක්ෂක භටයින් විරෝධතාව ප්‍රකාශකළ කාන්තාව කඩිනමින් කුදලාගෙන ශාලාවෙන් පිටමන් කිරීමට කටයුතු කළහ.

තම දේශනය නැවත ආරම්භකළ මිෂෙල් ඔබාමා කීවේ " මගේ මහත්තයා ලෝකයේ බලවත්ම කෙනා වෙන්න පුළුවන්. ඒත් අපි සේරම පෘතග්ජන මිනිස්සු තමා" කියාය.

සියල්ලෝම නැවතත් ඔල්වරසන් දුන්හ. බරක් ඔබාමාගේ ජනප්‍රියතාවයට තවත් ලකුණු ගණනක්ම එදා එකතුවූ බව පුවත් පත් වාර්තා වල සඳහන් විය.

 


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn

Latest from Tissa Madawala

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction