"මචු පිචු" ලෝක උරුම යක් වන පුරන් ශිඛරය

"මචු පිචු" ලෝක උරුම යක් වන පුරන් ශිඛරය පළමුවන කොටස "ගමනක ඇරඹුම"

මාත් මගේ බිරිඳ වන ශීලාත් කාලාන්තරයක් තිස්සේ කතා කරමින් සිටි සංචාරයක් පිලිබඳ බලාපොරොත්තුවක් ඉටුකරගනිමින් 2015 මාර්තු මාසයේදී දකුණු ඇමෙරිකාවේ රටවල් කිහිපයක සංචාරයකට එක්වුවෙමු. මේ සංචාරයේදී අප වඩාත්ම අශාවෙන් සිටියේ පේරු රටේ පාලකයන්ව සිටි ඉන්කා වරුන්ගේ විචිත්‍ර,පතාපවත්, අප අතරේ අප්‍රකට ඉතිහාසය කියාපාන පුරාවිද්‍යාත්මක නටබුන් දැක බලා ගැනීමටත් ඒවා පිලිබඳ තොරතුරු දැනගනීමටත්ය. ඒ අතරත් අපගේ ප්‍රමුඛතාවය ලෙස ලකුණු කරගෙන සිටියේ වඩාත්ම වැදගත් ස්ථානයක් ලෙස සුප්‍රකට යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම්කර ඇති කුස්කෝ ප්‍රාන්තයේ පිහිටි "මචු පිචු" නටබුන් දැකගැනීමය.

ගිය අවුරුද්දේ " මචු පිචු" සංචාරය කල දෙස් විදෙස් සංචාරයන් කෙරෙහි ඉමහත් ඇල්මක් ඇති උත්පලා දසනායක දියණිය විසින් මේ ගමනේ වැදගත්කම සහ චමත්කාරය මෙන්ම පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීමක් කරතිබීම අපගේ චාරිකාව සැලසුම් කිරීමේදී ඉමහත් උපකාරයක් විය.

මචු පිචු ( ස්පාඥ බසින් කියන්නේ මචු පිච්චු කියාය ) නමින් ප්‍රසිද්ධ ඒ අසාමාන්‍ය පුරාවිද්‍යාත්මක නටබුන් පිහිටා ඇත්තේ මුහුදු මට්ටමෙන් මීටර් 2,430 ( අඩි 7,970 ක්) උසින් පිහිටි ගිරි ශිඛරයක් මතය. පේරු රටේ මචු පිචු දිස්ත්‍රික්කයේ උරුබම්බා ප්‍රාන්තයේ කුස්කෝ ප්‍රදේශයේ පිහිටි මෙම නටබුන් 15 වෙනි සියවසේ එම පළාත පාලනය කල ඉන්කා වරුන් විසින් ගොඩනගා ඇත. පුරාවිද්‍යාඥයින් බොහෝ දෙනෙකු අදහස් කරන්නේ මෙම ස්ථානය ක්‍රිස්තු වර්ෂ 1438 සිට 1472 දක්වා එම පළාත පාලනය කල පචාකුටි නම්වූ ඉන්කා අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද්දක් බවය.

ඉන්කා වරුන් ගේ කාලයේ ලිඛිත භාෂාවක් නොතිබීම ඓතිහාසික තොරතුරු එකලස්කිරීමෙදී පුරාවිද්‍යාඥයින් මුහුණපාන ප්‍රධානතම ගැටළුවක් බව දැනගන්නට ලැබුණි.

"ඉන්කා" යනු පාලක පවුල් හැඳින්වූ නමවෙයි. එයින් ජන වර්ගයක් හෝ ගෝත්‍රයක් හැඳින්වෙන්නේ නැත.

දකුණු ඇමෙරිකාවේ ඇන්ඩීස් ප්‍රදේශයන්හි පුරාණයේ කතා කල ක්වෙච්චුවාන් හෝ රුනා සිමි භාෂාවෙන් "මචු පිචු" කියන්නේ "පුරාන ගිරි ශිඛරය" යන්නයි. මෙම භාෂාවේ අක්ෂර භාවිතයක් තිබී නැත. එම නිසා එම ශිෂ්ඨාචාර පිලිබඳ ලිඛිත සාක්ෂි කිසිවක් නැත.

මචු පිචු පුරාවිද්‍යා නටඹුන් නැරඹීම සඳහාවූ ගමන ආරම්භ කෙරුනේ මාර්තු 11 වන දින හිමිදිරි පාන්දරය. අපි නැවතී සිටි කුස්කෝ නගරයේ සිට මචු පිචු දක්වා දුර කිලෝමීටර් 94 පමණ ඇත. කුස්කෝ සිට දුම්රිය ස්ථානය පිහිටි "ඕලන්ටයිටැම්බෝ" දක්වා කිලෝමීටර් 62ක් බසයෙනුත් එතැනසිට මචු පිචු කන්ද පාමුල පිහිටි "ඇගුආස් කලිඑන්තෙස්" නගරය දක්වා කිලෝමීටර් 32ක් දුම්රියෙනුත් එතැනින් මචු පිචු නෂ්ටාවශේෂ දක්වාවූ කඳු මුදුනට කිලෝ මීටර් 9ක් කුඩා බසයකිනුත් ගමන් කලයුතු විය.

වසර කිහිපයකට පෙර කුස්කෝ නඟරයේ සිට මචු පිචු දක්වාම දුම්රිය සේවයක් පැවතියද දැනට එය නවතා දමා ඇති බව දැනගන්නට ලැබුණි.

අතීතයේ ඉන්කා රාජ්‍යයන් සියල්ලගේම අග නඟරය ලෙස පැවති කුස්කෝ පිහිටියේ මුහුඳු මට්ටමින් මීටර් 3,400 ක් ඉහළිනි. මෙනිසා එහි යන සංචාරකයින් බොහෝදෙනෙක් උස ප්‍රදේශවල වාතාශ්‍රය තුනී වීම නිසා දැනෙන හිසරදය, හුස්ම ගැනීමේ අපහසු තාවය සහ තෙහෙට්ටුව වැනි ප්‍රශ්න වලට මුහුණ දෙන බව කලතියාම අපට අනතුරු හැඟවීමක් වශයෙන් දන්වා තිබුණි.

මේ ප්‍රදේශවල බහුලව වගා කරනු ලබන " කෝකා" නම්වූ කුඩා පැලැටියේ පත්‍ර යොදා සාදාගන්නා තේවතුර වැනි උණු බීමක් පානය කිරීම මෙම ප්‍රශ්නය නිරාකරණය කරගත හැකි හොඳම පිළියම බවද අපට දන්වනු ලැබිය. කෝකා පත්‍රයද අපගේ තේකොලයේ හැඩරුව ඇති එම ප්‍රමානයේම කොළයකි.කුස්කෝ නඟරයේ අප නැවතී සිටි හෝටලයේ දවස පුරාම උණු " කෝකා තේ" නොමිලයේ ලබාගැනීම සඳහා පහසුකම් සලසා තිබුණි.

කෝකා පලැටියේ පත්‍ර පේරු රටේ මිනිස්සු නිතර සපා කති. ලංකාවේ අය බුලත්විට හපන විට දුන්කොල පාවිච්චි කරන්නාක් මෙන් " කෝකා" කොළ  සැපීමෙන් කිසියම් මත්වීමේ ස්වභාවයක් ඇතිවන බවත් ඒ මඟින් වෙහෙස මහන්සිය මඟහැරෙන බවත් දැනගැනීමට හැකිවිය.

කෝකා පත්‍ර "කොකේන්" නම්වූ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ ප්‍රමුඛ තම අමුද්‍රව්‍යයද වෙයි. කොකාකෝලා බීම සැදීම සඳහාද කෝකා සාරය යොදා ගැනෙන බවක් පැවසේ.

කෝකා තේවතුර මදක් තිත්ත රසයෙන් යුක්තවෙයි. ඒ සමඟ කිරි හෝ සීනි භාවිතා කරන්නේ නැත.හිසරදයක් හෝ හුස්ම හිරවීමක් නොදැනුනත් කෝකා තේවතුර බඩපුරා බීවත් මටනම් මත්වීමේ ස්වභාවයක් දැනුනේ නැත.

මචු පිචු පරිශ්‍රයට දිනකට ඇතුල් වන්නට අවසර ලබාදෙන්නේ 2000 කට පමණකි. මෙනිසා අපට උදෑසනින්ම ගමන ආරම්භ කිරීමට සිදුවිය.

කුස්කෝ සිට බසයෙන් ගමන්ගත් මාර්ගය වැටී ඇත්තේ දකුණු ඇමෙරිකාවේ බටහිර දෙසින් වෙනිසුවෙලා, කොලොම්බියා,එක්වදොර්,පේරු, බොලිවියා සහ චිලි යන රටවල පැතිරී ඇති කමනීය ඇන්ඩීස් කඳුවැටියේ පේරු රටේ කොටසට සමාන්තරව ඒආසන්නයෙනි. එම මාර්ගය නවීන මහා මාර්ගයකි. දෙපස බොහෝ තැන්වල ඇත්තේ ගොවිබිම්ය. තැනින් තැන කුඩා නඟර සහ කඩමන්ඩි පිහිටා ඇත. මාර්තු මාසයේ එම පළාතේ දේශගුණය සුවදායක උණුසුමකින් යුතු වුවද ඇන්ඩීස් කඳුවැටි මුදුනේ කැටිගැසුන හිම කොතෙකුත් දක්නට තිබුණි. ඉරු එළියෙන් බැබලෙන වලාකුලෙන් තොර තද නිල පාටින් යුතු අහස පසුබිම්ව ඈතට පෙනෙන ඇන්ඩීස් කඳු වැටියේ දසුන ඇත්තටම මනස්කාන්ත විය. කඳු වළල්ල හොඳින් පෙනෙන තැනක බසය නවතා ඒ නෙත්කළු පරිසරයේ වීභුතිය දැකබලාගන්නට අවස්තාවක් ලබාදුනි. බොහෝදෙනා ඒ නෙත්කළු සුන්දර දසුන දැක රසස්වාදනයක් ලබාගන්නවාට වඩා කලේ කැමරා,ජංගම දුරකථන,අයිපෑඩ් වැනි සියලු ආම්පන්න ඔසවාගෙන සටපට ගාමින් පින්තුර ගැනීම බව පෙනුනි. පින්තුරයට මුහුණ වැටෙන්න අවශ්‍ය නිසා බොහෝදෙනා සිටියේ කඳුවැටියට පිටුපාගෙනය.

මේ සෙල්ලමට හා හා පුරා කියාම බසෙන් එලියට පැන්නේ මම බවද මෙහිදී නොකියාම බැරිය.

කුස්කෝ සිට ඕලන්ටයිටැම්බෝ දක්වා ගමනට පැය එකහමාරක් පමණ ගතවිය. 

ඕලන්ටයිටැම්බෝ දුම්රියපල එතරම් විශාල නොවුවත් ජනාකීර්ණ තැනකි. මඟීන් සියලුම දෙනා සංචාරකයින් විය යුතුයැයි ඔවුනගේ හැසිරීම් විලාශයෙන් පෙනුනි. සෑම දෙනෙකුගේම ඉන ඉහේ වතුර බෝතල් විය. වතුර බෝතල් වෙළඳපොළට එන්නට කලින් සංචාරකයින් පනකෙන්ද රැකගත්තේ කෙසේද කියන ගැටලුව මගේ සිතට දැනුනි.

දුම්රියපල අවට සංචාරකයින්ම ඉලක්ක කරගත් අත්කම් සහ විසිතුරු භාණ්ඩ අලෙවිකරණ වෙළඳ සැල් පිරී ඇත. වෙළෙන්දන් සියල්ලම වාගේ ස්වදේශීය මිනිසුන් බව පෙනෙන්නට තිබුණි. කෙසේවුවත් යුරෝපා ආක්‍රමණයෙන් පසු දකුණු ඇමෙරිකාව පුරාම ස්වදේශීකයින් යුරෝපීයයන් මෙන්ම අනෙකුත් රටවල සහ ගෝත්‍රවල අය සමඟ මිශ්‍රවීම හේතුවෙන් අදවනවිට පිරිසිදු ස්වදේශීකයින් කිසිවෙකු ඉතිරිවී නැතිබව දැනගන්නට ලැබුණි. බෙහෝ පිරිස් පැරණි ස්වදේශික මිනිසුන්ගේ හැඩරුව ඇති අය වුහ. මෙම සිහිවටන වෙළෙන්දන් සංචාරකයින්හට තමන්ගේ බඩු මිලට ගන්නා ලෙසට වද කරන්නේ හෝ බල කරන්නේ නැත. බඩු මිලදී ගැනීමේදී අනිවාර්යයෙන්ම කේවල් කිරීම අත්‍යාවශ්‍ය වෙයි.

ඕලන්ටයිටැම්බෝ සිට මචු පිචු කඳු පාමුල පිහිටි නගරය වන "ඇගුආස් කලිඑන්තෙස්" වෙත යන දුම්රිය ගමන ඉතාම සුන්දරය. අවට පෙනෙන ඇන්ඩීස් කඳුවැටියත් සමීපයෙන් ගලා යන උරුබම්බා නඳියත් එම ගමනට එක්කළේ අමරණීය අත්දැකීමකි. අවට සුන්දර පරිසරය හොඳින් දැකගත හැකිවන අන්දමට දුම්රිය මැඳිරිවල ජනේල මෙන්ම වහලද විශාල වීදුරු වලින් සකසා තිබුණි. අප ගමන් කල දිනයේ උරුබම්බා නඳිය දෙගොඩ තලා යන තරමට පිරී ඉතිරී තිබුණි. 

දුම්රිය ගමනට පැය එක හමාරක් ගතවිය. අවශ්‍ය තරම් උණු උණුවේ කොපි සහ විස්කෝතු නොමිලයේ ලබාදුනි.

"ඇගුආස් කලිඑන්තෙස්" සංචාරකයින් සඳහාම ඉදිකෙරුණ බව පෙන්නුම් කරන ජනාකීර්ණ කුඩා නඟරයකි. කුඩා දුම්රිය ස්ථානය හැරුණකොට එහි ඇත්තේ අවන්හල්, හෝටල් සහ අත්කම් සහ සිහිවටන වෙළඳසල් පමණකි.

එතැන්සිට මචු පිචු නටබුන් පිහිටි කඳු මුදුනට ගමන් කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ එහෙත් සැප පහසු සහිත බස්රථ සේවාවක් ඇත. කඳු මුදුනට කිලෝමීටර් 9ක් දුරය. වැලි බොරළු සහිත දුවිල්ලෙන් පිරුන එම පටු පාරෙහි කඳු මුදුන කරා වට වංගු පසු කරමින් ගිය ගමන මදක් ත්‍රාසජනක යැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවනු ඇත. 

ගමනට පැය බාගයක් පමණ ගතවිය. උදේ 9.30 ට පමණ අපි ඒ අසාමාන්‍ය " මචු පිචු" පුරාවිද්‍යා පරිසරයේ දොරටුව අභියසට සම්ප්‍රාප්ත වූවෙමු.

දිනුමක අඩක් මනදොළ බවත් ක්‍රියාව එහි අවශේෂය බවත් මා කුඩා කාලයේ දිනක් මගේ පියා කියුවග මගේ සිහියට නැඟුනේ මන්දැයි මට තේරුනේ නැත.

සටහන තිස්ස මඩවල - ලන්ඩන්


Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
Sri Express
පළමුවන කොටස "ගමනක ඇරඹුම"

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (0 votes)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction