තන්හා රතී රඟා, සමඟිය සහ ලොප් උන මහඟු ප්‍රස්තාව Featured

තෘෂ්ණාව, රතිය සහ කාමාශාව සිදුහත් බෝසතානන් බුද්ධත්වය ලබාගැනීම උදෙසා පරාජය කල චෛතිසික බලප්‍රවාහ විය. 
ශ්‍රී ලංකාවේ දශක තුනකටත් වඩා ඇදීගිය නිෂ්ඵල, නිෂ්ප්‍රයෝජන කමකට නැති යුද්ධය අවසන්වූ කාල වකවානුව පසුබිම් කොට තැනුන සිනමා කෘතියකට සිදුහත් කුමරුන් වීර්ය කොට පැරදවූ මාරයාගේ දෝණියන්දෑලාගේ නම් වැටුනේ කෙසේද යන්න කෙනෙකුට ප්‍රශ්නයක් වන්නට බැරි නැත.


"තන්හා රතී රඟා" කතාව ලියවුන අකුරු පේලි සියල්ලගේම යටින් මටසිලුටු කුඩා අකුරෙන් කුරුටු ගා තිබෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නෙරාන්ජරා නදී තීරය අසබඩ ගයා නම්වූ වන ලැහැබක ඇසටු ගසක් මුල දහර මණ්ඩිය ගසා වැඩ සිටිමින් මීට වසර2,600 ගණනකට පෙරාතුව සිද්ධාර්ථ නම් තවුසෙකු තන්හාව ආශාව සහ ලෝභය පිටුදැකීමේ මහා ප්‍රඥාව පසක් කලාක් මෙන් මිට වසර 6 කට පෙර ශ්‍රී ලංකාවේ අපට බල තන්හාව, ජාත්‍යාලය පිලිබඳ ආශාව හෝ තව කෙනෙකු හට හොඳක් වනවා දකින්නට ඇති ලෝබය නැතිකර සදා කාලික සැනසිල්ලක් ස්ථාපිත කර සියලුදෙනාසමඟි කිරීම සඳහා තිබුන මහඟු ප්‍රස්තාවක් අපගේ ග්‍රහණයෙන් ලොප්වී ගිය දුක්බර කතාව බව මට සිතුනි.


මහපොලව සිඹ ගනිමින් එක් අයෙකු උද්දාමයට පත්කර තවත් කෙනෙකුගේ අභිලාෂයන් ඒ පොළවෙහිම මිහිදන් කිරීම තුලින් සමාදානයද මිහිදන්වී ගිය විත්තියක් මෙම සිතුවම් පටය තුල බැලූ බැල්මට සරලව එහෙත් මදක් කල්පනා කර බැලීමේදී වැටහී යන ආකාරයට ගොතා ඇති, විටෙක භාවාත්මක, විටෙක සංවේදී, විටෙක ත්‍රාශජනක කතාවස්තුව තුලින් කියාදෙන බව මට හැඟී ගියේය.


" තන්හා රති රඟා " ආරම්භ කෙරෙන්නේ එල් ටී ටී ඊ සංවිධානයේ නායකයා වූ වේලුපුල්ලේ ප්‍රභාකරන් මියගිය දවසේය. මේ පිලිබඳ පුවත රුපවාහිනිය මඟින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙසින් විකාශනය කෙරෙයි. කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙසක උද්දාමයට පත් පිරිසක් ජාතික කොඩි ලෙලදෙමින් රතිඥා දල්වමින් ප්‍රීතිය ප්‍රකාශ කරති.


රුපවාහිනියේ ජයපැන් බොන සිංහල සේනාවෝ පෙන්වයි.සියලු දෙනාටම ඇත්තේ අසීමිත ප්‍රීතියකි. උද්දාමයකි. සියල්ලගේම ජාත්‍යාලය ඉහවහා ගොස් ඇත. සියල්ලෝම කති බොති නටති ප්‍රීති ගෝෂා නගති.


2009 මයි මස 19 වෙනිදා මම සිටියේත් ශ්‍රී ලංකාවේය. එනිසා මේසියල්ල මමද දුටුවෙමි. එදා ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රදේශවල උතුරාගිය අසාමාන්‍ය උද්යෝගය මමද දුටුවෙමි. මේසියල්ල මට හොඳහැටි මතකය. 


අධ්‍යක්ෂක වරයා සැබෑ ප්‍රවෘත්ති රුපරාමු සහ අලුතෙන් චිත්‍රපටය සඳහාම රුප ගතකල රූපරාමු එදා සිදුවු සියල්ල එපරිද්දෙන්ම පෙන්වීමට හැකිවන ලෙසින් සුරලෙස මුට්ටුකර ඇත. මිශ්‍රව යොදාගෙන ඇත.


සමහරු තක හනියේ කිරිබත් දන්සල් සංවිධානය කරති. ප්‍රදේශයේ දෙසපාලනයට සම්බන්ධ කෙනෙකුන්ද මෙතනට පැමිණ ඔහුට අයත් යැයි කියන එහෙත් සොහොයුරිය පදිංචිව සිටින නිවසක ඇතිකරන සුදු පරෙවියන් දෙදෙනෙකු අනවසරයෙන් රැගෙන ගොස් සෙනඟට පෙනෙන අන්දමට මුදා හරියි. 


දන්සලේ කිරිබත් බෙදන තරුණයෙකු විශවවිද්‍යාල සිසිවෙකි. ඔහු ඇලුම් කරන ප්‍රදේශයේ හයිරන් කාරයෙකුගේ නැඟනියද එතන කිරිබත් බෙදයි. ගණන්කාරයා එහි පැමිණ දෙදෙනා එකට සිටීම ගැන උරණව කතා කරයි. තරුණයා සුරාජ් ය. ඔහුගේ මිත්‍රයින් දෙදෙනෙකුද එතන සිටිති. ත්‍රී රෝද රථ හිමිකරුවකු වන විමල් සහ කුලී වැඩක් කර ජීවිකාව ගැට ගසාගන්නා සිරිතුංග ඒ දෙදෙනාය. විමල් තනිකඩයෙකි. සිරිතුංග විවාහකයෙකි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකි.


සිරිතුංග, විමල් සහ සුරාජ් කෑවට බීවට නිතර බුදුන් වඳින මිනිසුන්බව මුලදීම තහවුරු කර ඇත. 


සුරාජ්ගේත් තරුනියගේත් සම්බන්ධය පිලිබඳ හයිරන් කාරයාගේ තර්ජන වැඩිවන විට මිත්‍රයින් තිදෙනාම කොළඹින් පිට විනෝද ගමනක් යාමට කතිකා කරගනිති.


ඔවුන් තීරණය කරන්නේ අලුතෙන් මුදවාගත් යාපනයටත් නාගදීපයටත් යාමටය.


ගමන සඳහා උතුරු කරය යොදා ගැනීමත් තිදෙනාම බුදුන් වඳින අය ලෙස ස්ථාපිත කිරීමත් වැදගත් වෙයි.


උතුරේ යුද්ධයක් අවසාන වී ඇත. දැන් සාමය සහ සමාදානය ඇති නිසා ඕනෑම කෙනෙකුට එහි යාමට අවහිරයක් නැත. 


ත්‍රී රෝද රථයේ බුදුපිළිමයක් ඇත. පසෙක ඉන්දියානු නිළියකගේ අලංකාර රුපයක්ද අලවා ඇත. මුදුනේ බෞද්ධ කොඩියත්ජාතික කොඩියත් ලෙලදෙයි.


යහළුවන් තිදෙනා මුලින්ම පෙන්වන්නේ රතු නෙලුම් මල් පොකුරු අතැතිව රුවන්වැලිසෑ සලපතල මළුවෙහි නමස්කාර පුර්වකව ඉන්නා අන්දමය.


ඔවුන් නිරන්තරයෙන්ම බුදුන් වඳිති. ආපසු එන ගමනේදී පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී පවා මාංචු ඇති දෙඅත් ඔසවා රුවන්වැලි සෑයට නමස්කාර කිරීමත්, පසු කලෙක හිරගෙදර එළියේ බිත්තියේ ඇති බුදුපිළිමයට නමස්කාර කිරීමත් ඔවුන්ගේ මේ පිටතින් ඇති භක්තිය පෙන්වන්නකි.


තිදෙනා බෞද්ධයන් වුවත් සැබවින්ම ඔවුන් බුදුන්වහන්සේගේ ධර්මය තේරුම් ගත් හෝ සුලුවටහෝ පන්සිල්වත් රැකීමට උත්සාහයක් ගන්නා අය නොවන බව ඔවුනගේ ක්‍රියාපටිපාටියෙන් පෙන්වා ඇත.


නාගදීපයට යන්නට පෙර ඔවුන්ට මුහුඳු වැල්ලේ විවෙකගන්නා වන්දනා නඬයක් මුණගැසෙයි.


ජනප්‍රිය සිංහල ගීත ගයමින් මදුවිත හොඳට භාවිතා කරමින් විනොදවන මේ මරු කතරේ වැල්ල යට රටක් ගිනිබත් කල බියකරු මිනිසුන් ගේ බිහිසුණු අතීතය වැළලී ඇත. සින්දු කියන අඩිපුඩි ගහන මිනිසුන් ඒවගක් දන්නේ නැත.


විමල්ට ඒ අතීතය අහම්බෙන් අත ගැටෙයි. එතැනින් තිදෙනාට වන්නේ උතුරු කරයේ කියන තරම් නිදහසක් නැතිබව පෙනී යාමයි.


කතාවේ සම්බන්ධීකරණය සමතුලිනව පවත්වාගෙන යාමට වන්දනා නඩයට හැඩකාර තරුණියක් හඳුන්වාදී අත. ඇය විමල් සමඟ ඇයි හොඳයි කමක් ඇතිකර ගනී. 


චිත්‍රපටයේ තැනින් තැන ප්‍රභාකරන් මැරුණත් මරාගැනීම් කෙලවර වී නැතිබව කියන්නට නාගයෙක් යොදාගෙන ඇත.


විමල් අත ගැටෙන ගිනි අවියේ මිට සහ පසු කලෙක මිනිමරුමකට යොදාගෙන විසිකර තිබී විමල්ගේ පය ගැටෙන දුනු පිහියද නාග සමකින් සැරසුවකි.


උතුරු වැල්ලේ වළලා තිබු ගිනි අවිය සඟවාගෙන කොළඹට ගෙනැවිත් ලොකු මුදලකට විකුණා ගැනීමට මිතුරන් තිදෙනා තීරණය කරති. 


අතරමඟ හමුදා මුරපල සහ පොලිස් මුරපල වලදී ඔවුනට මුහුණපාන්න වන්නේ නිදහස් ප්‍රදේශයකදී බලාපොරොත්තුවන අත්දැකීම් නොවේ.


කොළඹදී ගිනිඅවිය නිසා තිදෙනාම හිරබත් කන තැනට පත්වෙති.


ප්‍රභාකරන් මියගියත් උතුරේ මෙන්ම දකුණේත් මරා ගැනීම් අවසන් වී නැති බවත් මේ සියල්ලගෙන්ම පෙන්වා ඇතැයි මට සිතේ.


නිලේන්ද්‍ර දේශප්‍රිය ප්‍රතිභා පුර්ණ නිර්මාණ කරුවෙකු බව "තන්හා රති රඟා"නැරඹුවිට පෙනී ගියේය. 


මෙම චිත්‍රපටය බලා සිටින විට විවිධ අවස්ථා නිරුපනය කිරීමේදී යොදා ගෙන ඇති සිනමා ශෛලින් පිළිබඳව සිතන විට ඒවා සිනමාරුපි න්‍යායයන් හා රීති වලට අනුකුල නිර්මාණවල බහුලව දක්නට ලැබෙන වර්ගයේ ශෛලින් බව කිහිප විටක්ම සිතුනි.


1995 දී මැතිව් කොසොවිට්ස් අධ්‍යක්ෂණය කල " ල හේන්" නම්වූ සුදු කළු චිත්‍රපටය මට විටෙක සිහිපත්විය. එහි ඇතුලත් වුයේද පැරිස් නුවර දරිද්‍රතාවයෙන් පෙලෙන සංක්‍රමිනකයින් ජීවත්වන ප්‍රදේශයක ඉන්නා යුදෙව්, අප්‍රිකානු සහ අරාබි ජාතිකන් තිදෙනෙකු පැය19ක් ඇතුලත් මුහුණ දෙන සිද්ධීන් කැටිකොට ගත් කතාවකි.


දරුවාට වෙඩිවැදී ඇතිබව දැනගත් වෙලාවේ සිරිතුංග කුලීවැඩ සඳහා ගිය නිවසේ මාළු ටැංකිය බිඳීගිය දසුන දකින විට මගේ මතකයට නිතැතින්ම ආවේ මීට වසර ගණනාවකට පෙර දුටු " ඕමන් 1 " චිත්‍රපටයේ නිවසක් තුල කුඩා දරුවා බයිසිකලයක් පැදගෙන යාමත් කන්න්තාව පුටුවක් උඩ සිට උඩකින් එල්ලාතිබු මල් පඳුරක් සකසුරුවම් කිරීමත් ඒ අසලවූ රවුම් මාළු ටැංකිය බිම වැටී බිඳීයාමත් පෙන්වූ දර්ශන පේළියයි.


සිනමාරුපී චිත්‍රපටයක නිර්මානාත්මක දර්ශන පෙළගැස්මක් දුටුවිට එය අමතක වන්නේ කලාතුරකිනි.


පිස්තෝලය පත්තුවීමෙන් පසුව දරුවා බියට පත්ව මුඩුක්කු ගෙවල් පේලිය මැද්දෙන් නොනවත්වා දුවයන දර්ශනයද මෙවැන්නකි. 


" තණ්හා රති රඟා" චිත්‍රපටයේ දර්ශන එකලස් කර ඇති ආකාරය දකින විට ඒවායේ ඇති ජවය පිළිබඳව අගය නිරන්තරයෙන් සිතට කාවදින්නේ නිරායාශයෙන්මය.


බොහෝ දර්ශන සඳහා කැමරාව අතේ තබාගෙන රූපගත කර තිබීමෙන් සහ බොහෝ රුප ක්ෂණිකව කපා තිබීමෙන් ඒ ඒ දර්ශනයන් සඳහා ප්‍රේක්ෂක අවධානය උච්චව රඳවා තබා ගැනීමට යොදාගත් උපක්‍රමයක් මෙහිදී සාර්ථකව ඇතැයි මට සිතේ.
සිරිතුංගගේ දරුවා නොදන්නා කමට ගිනි අවිය පත්තු කිරීමේ සිද්ධිය අඩංගු දර්ශන පෙළ මෙයට හොඳ උදාහරණයකි.


මෙම දසුන් තිරය මත දිග හැරුන වෙලේ සිනමා ශාලාව තුල තිබු පුදුමාකාර නිහඬතාවය එම දර්ශනපෙල එකලස්කර ඇති අපුරු හපන්කම කියන හොඳ නිදසුනකි.


තම දරුවා මියගිය ආරංචිය දකින සහ සිරිතුංග ගෙන් පොලිසිය ප්‍රශ්නකරන දර්ශනය ඉතාම සංකීර්ණව මනා සංයමයකින් යුතුව සකස්කර තිබුණි. එහි පෙනීසිටි රංගන ශිල්පීන්ගේ සංවේදී භාව ප්‍රකාශනයන්ද ඉතාම ඉහල මට්ටමක තිබුණි.


මෙම දර්ශන පෙළ දකිනවිට කිසිවෙකුගේ දෙනෙතට කඳුළු බින්දුවක් නොනැඟූනානම් ඔවුන් කිසිදාක කිසිදෙයකට නොහඬන මිනිසුන් විය යුතුය.


2009 දී ඩැනී බොයිල් අධ්‍යක්ෂණය කල " සලම්ඩෝග් මිලියනෙයර්" සහ 2010 දී මහේෂ් මන්ජෙකර් අධ්‍යක්ෂණය කල " සිටි ඔෆ් ගෝල්ඩ්" චිත්‍රපටයත් මට මතක්වුයේ නිරායාශයෙනි.


මෙනිසා නිලේන්ද්‍ර දේශප්‍රියගේ නිර්මානාත්මක කුසලතාවයන් අවතක්සේරු කිරීමක් කිසිසේත්ම අදහස් නොකෙරේ. මා ඉහත සඳහන් කල නිෂ්පාදනයක් ඇති විශාල වියදමක් දරා විශාල ශිල්පීන් හා මිනිස් බලයක් යොදවා නිර්මාණය කල ඒවාය. නමුත් නිලේන්ද්‍ර අල්ප වියදමකින් අඩු ශිල්පීන් සංඛ්‍යාවක් යොදා කර ඇත්තේ සුවිසල් හපන් කමකි. 


ඔහුට නොඅඩුව තිබී ඇත්තේ ඔහුගේම අපුරු නිර්මානාත්මක කුසලතාවය බව මම නොබියව කියමි.


මෙම චිත්‍රපටයේ තිර රචනය, රුප රචනය,රඟපෑම්, සිනමා කැමරා කරණය, සංගීතය සහ සංස්කරණය වැනිදේ ගැන වෙනම කතාකලයුතුයි මට සිතේ. සමස්ථයක් වශයෙන් ගතහොත් ඒ සියලු අංගයක්ම ඉතාමත් ඉහල මට්ටමක ඇතිබව පෙනී යන බව පමණක් මෙහිදී සඳහන් කරමි.


තන්හා රති රඟා කෘතියේ බෞද්ධ අර්ථ කථනය ලෙස මා දකින්නේ ඒ තුල අන්තර්ගතවී ඇති සෑම මිනිසෙකු තුලම ඇති තන්හාව ආශාව සහ කෑදර කම නිසා ශ්‍රී ලංකාවේ පැවති අභාග්‍ය සම්පන්න භේදකාරී සමාජය තවදුරටත් එපරිද්දෙන්ම පවතින ශෝචනීය කතා පුවතයි.


රටක් නැතිභන්ගස්ථාන කල පවිටු මිනිසෙකුගේ මරණය ගැන සිතමින් උද්දාමයට පත්වීමත් එය තමන්ගේ බලපරාක්‍රමය රඳවා තබාගැනීම උදෙසා භාවිතා කිරීමත් තුලින් රටක් එක්සේසත් කිරීමට ලැබුන රත්තරන් ආවස්ථාව ගිලිහී ගිය බවක් කියාපෑම මෙම චිත්‍රපටයේ අන්තර්ගතය ලෙස මම දකිමි.


නිදහස් කරගත් උතුරේ නිදහසක් නැතිබවත් හැමන්දාම නිදහස්ව තිබු දකුණේත් කිසිම නිදහසක් නැති බවත් මේ සියලු චරිතයන් මුහුණදෙන අත්දැකීම් අපට කියයි.


හිරෙන් නිදහස්වන මිත්‍රයින් තිදෙනා ඇවිද යනවිට එක් අයෙකුගේ දෙපය ගැටෙන්නේ මිනිස් ඝාතනයක් සඳහා භාවිතා කල දුනු පිහියකි.


නයි හමකින් සරසා තිබු එම ආයුධය සුරාජ් ඇහිඳ ගනී. 


මරණයේ සංකේතය වන විෂ කුරු සර්පයා එතැනත් යොදාගෙන ඇත.


එය ළඟ තබාගන්නවාද විසිකරනවාද කියන දෙගෙඩියාව සුරජ්ගේ මුහුණෙන් පෙන්වයි. 


දුනුපිහිය උදුරා ගන්නා සිරිතුංග එය විසිකර දමන්නේ මරණය අවසන්විය යුතුබව හඟවමිනි. 


හිස් අහසට විසිකළ දුනුපිහිය ඇද වැටෙන්නේ උණු උණුවේ මරාදැමූ රූමත් කාන්තාවකගේ දෙපා ළඟටය.


ප්‍රභාකරන් මරා දැමුවත් ඇන කොටා ගැනීම් අවසන් කිරීමට කටයුතු කර නැතිබව එයින් කියැවෙයි.


නිලේන්ද්‍ර නිර්මානශිලී සිනමා කරුවකු ලෙස මම දකිමි.


Sri Express
Sri Express
Sri Express
Sri Express

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
  • Rate this item
    (1 Vote)

 

Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction