sri express

ඡායාරූප මුන්නේශ්වරම ඊ.සී.ප්‍රනාන්දු

අද මැයි 12 වැනිදා. මේ වසරේ අම්මාවරුන්ගේ දිනයයි.

අප කාටත් අම්මා උතුම්ය. අම්මාට අපි සියල්ලන්ම ආදෙර්ය. අම්මලාත් එසේමය. අද අපේ රටේ අම්මලා කීදෙනෙක් තම දූ දරුවන් ජීවත්කරවන්නට නොකරන්නේ මොනවාද? ඒ සඳහා ඔවුහු විවිධ දුෂ්කර රැකියාවල යෙදෙති.

මේ උතුම් අම්මාවරුන් මැද අප කිසිවෙකු සිතන්නේ නැති අම්මා කෙනෙකුට සිතන්නවත් බැරි රැකියාවක් කර තම දරුවන් ජීවත්කරවන යකඩ ගතක් ඇති මෘදු සිතක් ඇති අම්මා කෙනෙකු අපට පසුගියදා හමුවිය. ඒ අම්මා ජීවත්වන්නේ කල්පිටිය නොරොච්චෝලේය. වයස 28කි. තවම තරුණ වියේය. ඇය තම දරුවන් ජීවත්කරවන්නේ ඉමක් කොනක් නොපෙනෙන මහමුහුදේ ධීවර රැකියාවේ යෙදෙමිනි.

දෙදරු මවක වුණත් ඇය තවම නව යොවුන් විය ඉක්මවා ගොස් නැත. සැමියෙකු නැතත් තමාට උරුම වූ කුඩා පුතුන් දෙදෙනා වෙනුවෙන් ඇය අපූරු රැකියාවක් තෝරා ගෙන ඇත.

ඈත දියඹට ගොස් මසුන් අල්ලා විකිණීම අද ඇගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත. තෙරක් නොපෙනෙන දියඹට ගොස් ප්‍රචණ්ඩ රළ සමඟ පොරබදා ඕ පිරිමින් හා කරට කර සිටිමින් මසුන් අල්ලන්නීය.

කල්පිටිය නොරොච්චෝලේ පැත්තේ කවුරුත් ඇයට කියන්නේ ‘දීපා’ කියාය. නොරොච්චෝලේ ඉලන්නඩියේ උපන් කුරුගමගේ දීපා සමන්මලී පෙරේරා (28) ඇයයි. ඇගේ පියා කුරුගමගේ රෝස් නිමල් ඇන්ටනි පෙරේරා (60)යි. ඔලිවියා ලලනි දබරේරා (46) ඇගේ මවයි.

තම ආර්ථික අපහසුතා පිරිමසා ගැනීමට අතදරුවන් පවා මෙරට තනිකර මැදපෙරදිග ගෘහ සේවයට යන හා තම කඩාකප්පල් වූ විවාහ දිවිය ගැන කල්පනා කරමින් ළතැවෙමින් සුසුම් හෙලන මෙරට හැම කාන්තාවකටම ඇය, ;හාඳ ආදර්ශයක් ලබාදේ. එම කථාව ඇගේ වචනවලින්ම ඇසීම වැදගත් වේ.

කුරුගමගේ දීපා සමන්මලී පෙරේරා (28) මහත්මිය තම ජීවිත කතාව මෙසේ දිගහැරියාය.

අපේ තාත්තා ධීවරයෙක්. කාගේ හරි බෝට්ටුවක මුහුදු ගිහින් මාළු අල්ලගෙන ඇවිත් තමයි අපි ජීවත්වුණේ. වාරකන් කාලයට මුහුදු යන්න බැහැ. එමනිසා මුහුදු නොගොස් තාත්තා එළවුළු වගා කළා. අපත් උදව් කළා

මම ඉස්කෝලේ ගියේ හයවන වසර දක්වා පමණයි. අපේ දුප්පත්කම නිසා මට පාසල් යාම එපාවුණා. මම ගෙදර නතර වුණා. තාත්තා මුහුදු යනවා බලා හිටිය මට පොඩි කාලේ ඉඳලා මසුන් අල්ලන්න මුහුදු යන්න ආශා හිතුණා. මේ ගැන අහලා අම්මා නම් මට බැන්නා. ගැහැනු කොහේ ද බං මුහුදු ගියේ කියලා. තාත්තා නම් කීවේ මුහුදු යන්න ගෑනු පිරිමි කමක් ඕන නැහැ. ඒකි කැමැති නම් ඔහේ ගියාදෙන් කියලා.

පුංචි සංදියේ සිටම තාත්තා මුහුදු ගිහින් මාළු අල්ලාගෙන බෝට්ටුව අරං වෙරළට එන විට මමත් වෙරළටට ගිහින් තාත්තට උදව් කළා මාළු තෝරන්න. අන්තිමේදී මම දවසක් දෙකක් තාත්තා එක්ක මුහුදු ගියා. මට කිසිම බයක් ඇති වුණේ නැහැ. මේ නිසා මම ඉඩ ලද හැමවිටම තාත්තා සමඟ බෝට්ටුවේ නැඟලා ඈත දියඹට ගියා මාළු අල්ලන්න. එහිදී තාත්තා මට කියලා දුන්නා දැල් දාන්න ගන්න යොත්වලින් මාළු අල්ලන්න.

මට අවුරුදු 12 පසු වන විට තනියම බෝට්ටුවක් අරන් ඈත දියඹට ගිහින් මාළු මරාගෙන එන්න පුළුවන් වුණා. ඒ අතර මගේ තාත්තගේ අක්කගේ ගෙදර ගියා. එහේ පල්ලියේ මංගල්‍යයට ඒ මීගමුවේ. ඒ පැත්තේ මට ගොඩක් යාළුවෝ හිටියා. මම පිරිමි ගැහැනු කියලා භේදයක් නැතුව හැම කෙනාවම ආශ්‍රය කළා.

ඒ දිනවල මම මීගමුවේ නැන්දගේ ගෙදර ඉන්න විට ඒ පැත්තේ හිටිය සෙන් රෝච් කියන තරුණයා මා හා වැඩිපුර කථාබහට ආවා. මට නම් එයාගේ විශේෂයක් පෙනුණේ නැහැ.

”මේ අතර මීගමුවේ මගේ මිතුරියන් ටිකක් මට කීවා රෝච් අයියා උඹට කැමැතියි උඹ මොකද කියන්නේ කියලා. මට නම් ඒ වෙලාවේ කියන්න දෙයක් තිබුණේ නැහැ. “ඌට පිස්සු ඇති” මම කට්ටියට දීපු උත්තරයයි.

ඒ අතර යහළුවෝ ටික රෝච් ගැන එක එක කථා කීවා. මම නැතිවුණොත් එයා මැරෙනවා කියලත් කීවා. එතකොට මගේ වයස අවුරුදු 16යි. ගෙදර ප්‍රශ්න. ඉතින් මම කොහොමද දැන්මම බඳින්නේ. මට නම් බඳින්න ඕනෑ වුණේ නැහැ. සුමානයක් විතර යනකොට මට මොනවා වුණාද දන්නේ නැහැ. මට රෝච් අයියව නොබලා ඉන්න බැරිවුණා. ඒ අනුව එයා මාව අරන් ගිහින් කසාද බැන්දා ගෙදරට හොරෙන්.

2003 ජනවාරි මාසේ 18 වැනි දින මට පුතෙක් ලැබුණා. යළි අපට කරදර ආපු නිසා පුතා ලැබිලා ටික දවසක් ගියාට පස්සේ මම ආපසු මුහුදු යාම ආරම්භ කළා. දෙයියන්නේ පිහිටෙන් මට තනියම හරි බෝට්ටුවක් අරන් මුහුදු යන්න පුළුවන්. දැල් දාලා යොත් දාලා මාළු අල්ලන්න පුළුවන්

මේ අතර මට ගෙදරින් නිතර නිතර බලපෑම් කළා තව කසාදයක් කරගන්න කියලා.
දරු දෙදෙනා

ටික කාලයක් වැඩකරන අතර මට හමුවුණා එස්.ටී.එෆ් එකේ වැඩකරන කෙනෙක්. එයා මහනුවර අශේන් මධුරංග කියන කෙනා. එයා නිතර හමුවෙලා මා හා කථා බහ කළා. එයා මගේ ජීවිත කථාව දැනගෙන මට වඩාත් කිට්ටු වුණා.

එයා මට රස්සාවකට යන්න දුන්නේ නැහැ. මාවයි පුතාවයි හුඟක් ආදරයෙන් බලාගත්තා. ඒ අතර මට තවත් දරුවෙකු ලැබෙන්න හිටියා. අප හුඟාක් උත්සාහ කළා දික්කසාදය අරං විවාහ වෙන්න. අනේ දෙයියනේ මම මහා පව්කාරියක්. එයාව කටුනායක සිට කොළඹට මාරු කර යවා තිබුණා. ඒ අතර එයා හදිසි අනතුරකින් මියගිය බව අප දැනගත්තා. මම යළිත් වරක් අනාථ වුණා. එයාව විවාහ කරගෙන නොසිටි නිසා එයාගේ මරණයෙන් පස්සේ මට කිසිවක් කරගන්න බැරිව ගියා. ඒ අතර 2007 මාර්තු 16 වැනි දින මගේ දෙවැනි පුතා ෂෙහාන් කාවින්ද මෙළොව එළිය දුටුවා. මගේ ලොකු පුතාට අවුරුදු 11යි. පොඩ්ඩාට 6යි. දැන් මට මුහුදු රස්සාව හොඳට පුරුදුයි. අම්මා තාත්තාගේ හෝ වෙන කාගේ හෝ ආධාරයක් නැතිව මුහුදු රස්සාවට ගිහින් මම දරුවෝ දෙන්නත් එක්ක ජීවත් වෙනවා. මම මුහුදු ගිහින් සල්ලි හොයනවා. මේ මහා මුහුද මාවයි දරුවන්වයි රැකගනීවි. මම මුහුදට බය නැහැ. අම්මා කෙනෙක් ලෙස මගේ යුතුකම මම ඉටුකරනවා.

මම මුහුදු යන්නේ අනුන්ගේ බෝට්ටුවකින් පංගුවට. මට මගේ දරු දෙදෙනාව පාසල් යවලා උගන්වන්න ඕනෑ. අනේ දෙවියනේ මටම කියලා දැල් ටිකයි බෝට්ටුවකුයි තියේනම් මටයි මගේ දරුවන්ටයි පුළුවන් කාටත් අත නොපා ජීවත්වන්න. ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියත් මට අත දෙන්න කවුරු හරි ඉදිරිපත් වනවා නම් ඒ දෙවි කෙනෙක් යයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

හිරිමල් වියේදීම සිය දිවිය අසාර්ථක කරගත් ඇය දැන් දරු දෙදෙනකු වෙනුවෙන් තම ජීවිතය කැපකරන්නීය. කාන්තාවක් වුණත් ඇය සිය ඇඳුම කරගෙන ඇත්තේ කලිසම හා කමිසයයි. හිසෙහි කැප් තොප්පියක් ද පලඳී. බැලූ බැල්මට ඇය පිරිමි ලක්ෂණ පෙන්නුම් කළාය. සියුමැලි අත්ල හැඩිදැඩි පිරිමියෙකුගේ වැනිය. ඒ ඇයගේ දුප්පත්කම ඇයට උරුම කළ දායාදය විය යුතුය. යහපත් අධිෂ්ඨානයකින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව ඇය සනාථ කර ඇත.

අසාර්ථක පවුල් ජීවිතයක් නිසා මෙලොව උපදින දරුවන් වෙනුවෙන් බොහෝ කතුන් විදේශ රැකියා සඳහා මැදපෙරදිග ගියත් ඇය ඊට එකඟ නැත. ඒ නිසාම ඕ පිරිමින්ට සීමාවී ඇති කර්කශ රැකියාවක් තෝරාගෙන ඇත. එය අපේ රටේ හැම කාන්තාවකටම ආදර්ශයකි. මුහුදු යාමට ඇයට මෙරට ආරක්ෂක අංශ අවශ්‍ය බලපත්‍රයක් ද නිකුත්කර ඇත. ඇය තවම ජීවත්වන්නේ කුලී ගෙදරකය. මේ දිරිය මාතාවට අත දීමට කවුරු හෝ ඉදිරිපත් වේ නම් අගේ කළ යුතු වේ.

මෙහිදී මැය පිළිබඳව මුලින්ම තොරතුරු දැන්වූ මුන්නේශ්වරමේ මොහාන් තුරෙයි රාජා මහතා කළ හැඳින්වීම ද සිහිපත් කිරීම වැදගත් වේ.

”අයියේ අපේ ගෙවල් ළඟ ගෙයක් කුලියට අරන් දරු දෙදෙනෙකුයි අම්මා කෙනෙකුයි ඇවිත් ඉන්නවා. මේ අම්මා බෝට්ටුවෙන් මුහුදු ගිහින් මාළු අල්ලලා ජීවත්වනවා. ඔයා අහලා හරි දැකලා හරි තියෙනවා ද මේ වගේ කෙනෙකු ගැන මේ වගේ දිරිමත් තරුණ අම්මා කෙනෙකු ගැන ජනතාව දැනුම්වත් කරලා පිහිටක් වුණොත් ඒක ලොකු පිනක් යයි ඔහු කළ යෝජනාව අනුව මට ඇය හමුවීමට හැකි විය.

එක්දින යාත්‍රාව පණගන්වන ඇය එය පිරිමින් පරදවමින් සීරුවට දියඹට ගෙන යන්නීය. බෝට්ටු එංජිම ඇයට සෙල්ලම් බඩුවක් සේය. ඒ ඇගේ ආත්මවිශ්වාසය නිසා විය යුතුය. ඇයටත් ඇගේ දරු දෙදෙනාටත් යහපතක්ම වේවා.

 
සටහන හා ඡායාරූප මුන්නේශ්වරම ඊ.සී.ප්‍රනාන්දු

Sri Express
ඡායාරූප මුන්නේශ්වරම ඊ.සී.ප්‍රනාන්දු

Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction