sri express

දවසක නිමාව සනිටුහන් කරමින් හෝරා යන්ත්‍රය තම සුපුරුදු ගමනේය. එහි කිසිදු අරුමයක් හෝ අමුත්තක් නැතත් ඊයේ දිනයේ ඒ දෙස වෙනදාටත් වැඩියෙන් මා බැලුවාදැයි මට සිතේ. දවස ගෙවී යන්නේ වෙනදාට වඩා බොහොමත්ම සෙමින් යැයි මට සිතුණේ වරක් හෝ දෙවරක් නොවේ. අවසානයේ ඒ මොහොත පැමිණියේය. 

මා සිටියේ ලංඩනයේ හැරෝ නගරයේ පිහිටි " හැරෝ කලාගාරය " අභිමුවේය. කලාගාරයේ විසල් ගොඩනැගිල්ල තේජාන්විතව මා ඉදිරියේ නැගී සිටී. මදක් ඒ පරිශ්‍රයේ මොහොතකට වල්මත්වූ මම අවසානයේ කෙළවරක තිබූ ඒ ශාලාව සොයා ගතිමි. 

සැදෑ අඳුරත් සමඟ ඇදී ආ සීතල, මා ගත පෙලූවත් උදෑසන පටන්ම උණුසුම්වී තිබූ මගේ සිතට අබමල් රේණුවක තරමේවත් සීතලක් නොදැනුණි. 

මා ඒ පුංචි ශාලාවේ දොරටුව වෙත ළඟාවනවිටත් ඔවුන් එහි පැමිණ වුන්හ. සහෘද කලාකාමී හද ගැස්ම මට දැනිණි. එහි උණුසුමින් ගත පෙළූ සීතලත් පහව ගියේ , විදුලි එළියක් දැක අඳුරට පැන නොපෙනී යන හිවල් තඩියෙකු පරිද්දෙනි. 

අප ඒ පුංචි ශාලාවේ අසුන් ගතිමු. සීතල ශාලාව උණුසුම් කිරීමට තබා තිබූ පුංචි විදුලි හීටරය ශාලාවේ ප්‍රමාණයට කිසිසේත්ම නොසෑහුණත් රැස්ව වුන් රසකාමීන්ගේ සිතේ සහ ගතේ උණුසුම ඒ හීටර පරදා අපට උණුසුම සැපයීය. 

විනාඩි කිහිපයක ප්‍රමාදයකට පසුව ලංඩනයේ පැවැත්වෙන දහඅට වැනි ආසියාතික සිනමා උලෙළේ එදිනට නියමිත ශ්‍රී ලංකාව නියෝජනය කළ සිනමාපටය තිරයේ දිග හැරුණි. 

මනස්කාන්ත කඳු පංතියකින් යුතු කැළෑබඳ පෙදෙසකට අරුණෝදය උදා වෙමින් තිබිණි. පෙරදා රැයෙහි ඝන අඳුර පරදමින් මඟ පෙන්වූ හුළු අතුවල ආලෝකය පැවතියේ නැගඑන හිරුගේ කිරණ හමුවේ පැරදී පසුබසිමිනි. සාර්ථක ගමනක් නිමා කොට තම ගම් මංඩියට සේන්දුවූ තවලම් නඩයක් ගසක කොළ අතු එල්ලා ඒ අඩවියට අධිපති දෙවි දේවතාවුන්ට ස්තූති කළහ. ඒ මනරම් හුන්නස්ගිරි කඳු ශිඛරයේ අති දුෂ්කරවූ දිවියක් ගෙවන ලංකාවේ එකම තවලම් නඩයයි. 

කඳු මුදුනේ පිහිටි, තවලම් නඩයේ සාමාජිකයෙකුවූ එඩ්වඩ්ගේ( ප්‍රියංකර රත්නායක) කුඩා අතුපැල තිරයේ දිස්වෙයි. " සුද්දා" නම් ගොන් නාම්බා, ඔවුන්ගේ පවුලේ බර තම කරමතින් අදින මුළු පවුලේම සුරතලා මෙන්ම ආර්ථික වශයෙන් සලකා බැලුවහොත් ගෘහ මූලිකායාද යැයි මට සිතේ. 

එඩ්වඩ්ගේ අතුපැල සෙවණේ ඔහුත් ඇතුළුව කටවල් පහකි. ණය බරින් මිරිකී , ගොවිතැන් පාළුවී ,ඔවුන් වසන ඉඩම් කැබැල්ල පවා සින්නවීමට ආසන්න ,දරිද්‍රතාවයේ නාසය දක්වාම ගිලී ඇති එඩ්වඩ්ගේ කුඩා පුතුන් දෙදෙනා, කසුන් හා විහඟ, බිරිඳ කුමාරි හා ඔහුගේ මව ඒ සාමාජික මඩුල්ලයි. 

සාමන්‍ය පවුලක දිනචරියාව තිරයේ දිග හැරෙයි. එඩ්වඩ් , බිරිඳ සාදා දුන් කහට කෝප්පය තොලගායි. කුඩා දරුවා කසුන් , සුද්දා " සමඟ සුරතල් වෙයි. කසුන්ගේ වැඩිමල් සොයුරා විහඟ නිවස ඉදිරිපස මිදුලේ වාඩිවී සිටියි. එඩ්වඩ්ගේ බිරිඳගේ හැමදාම ගැයෙන මැසිවිල්ල නැගෙයි. දරුවන්ගේ අත්තම්මා ( අයිරාංගනී සේරසිංහයන්) කොළ කැබැල්ලක ඔතා ගෙන ආ පැණි වළල්ලක් දරුවන්ට ආදරයෙන් දෙයි. එය ඔවුන් දෙදෙනාට පමණි. ඒ අප සැමගේම ආත්තම්මාය. මම මගේ කුඩා අවදියට යමි. අපේ ආච්චිගේ උණුසුම මට දැනේ. ඇගේ කුලුණුබර නෙතු මට තිරයේ පෙනේ. 

දරුවන් දෙදෙනා කුඩා පාසල් බෑග කරින් දරා කඳු හෙල් සහ මහ වනය මැඳින් පාසලට පිය නගන දසුනක් තිරය මත පතිතවේ. කැමරාව ඉහළ සිට අපූරු කෝණයකින් ඔවුන්ගේ ගමන තිරයේ මවයි. 

මහා විසල් වෘක්ෂයක් ළඟ නතරවන ඔවුන් දෑවැන්ත වෘෂ මූලයේ බෙනයක පියන හිල් කොට කැටයක්සේ සාදාගත් බෝතලයක් සඟවා එයට ඔවුන්ගේ බෑග වලින් ගන්නා සිල්ලර කාසි දමන්නට පටන් ගනියි. ඉන්පසු එය ගසේම කොළවලින් ආවරණය කොට ගසට වැඳ පාසල බලා ගමන් අරඔයි. මෙම දර්ශන ඉහළ සිට කැමරාගත කොට ඇති අන්දම ඉතාමත්ම කලාත්මකය. මේ ක්‍රියාව කිහිප විටක්ම සිදුවන අතර ඔවුන්ගේ ආත්තම්මා දෙන රුපියල දෙක කඩචෝරු නොකා මෙසේ එකතුකරන්නේ සුද්දාගේ කරේ බැඳීමට ගෙජ්ජියක් ගැනීමට බව පසුව හෙළිවේ. 

මගේ සිත ඈත අතීතයට ඇදී යයි. එදා ටයි මහත්තයාගේ( ටයිටස් තොටවත්ත) " හඳයා" චිත්‍රපටයේ පෝනියකු ගැනීමට මුදල් එකතු කළ ළමයින් ළඟ මගේ සිත නතර වෙයි. 

දරුවන්ගෙන් තමන්ට කිසිදු උදව්වක් නැතිබව සහ තම අගහිඟකම් ගැන නිතර දෙවේලේ මැසිවිලි නගමින් දරුවන්ට දොස් දෙවුල් තබන එඩ්වඩ්ගේ බිරිඳ ,කුමාරි ගැන ප්‍රේක්ෂකයාට තරහක් ආවත් එවැනි අධ්‍යාපන මට්ටමක හා ඉතා දුෂ්කර දිවි ගෙවන බොහොමයක් අම්මලාගේ නියෝජනය ඇයයි. කතාව එසේ වුවත් ඔවුන්ගේ දාරක ප්‍රේමය නම් ඉහටත් උඩිනි. 

අම්මාගෙන් බැණුම් අසන , අප්පාගෙන් ගුටි බැට කන දරුවන්ගේ ගැලවුම්කාරිය අත්තම්මාය. එය එදත් අදත් හෙටටත් එසේමය. ඔවුනට නින්ද යනතුරු කතන්දර කියා දෙන්නෙත්, ඔවුන්ගේ ගුටිකා ඇතිවූ තැලුම්වලට තෙල් ගා සාත්තු කරන්නේද ඇයමය. දරුවන්ට පමණක් නොව සුද්දාටද ඇයගේ සාත්තුව, ආදරය හා කරුණාව එසේමය. ඇයයි සම්ප්‍රදායික මිත්තනිය. සංසකෘතික කැඩපත හා දරුවන් හා දෙමාපියන් අතර පාලමද ඇයයි. මේවා ඉතා සූක්ෂමව ප්‍රේක්ෂකාගාරයට හිතන්නට සැලැස්වීමට නුවන්ට ( නුවන් ජයතිලක- අධ්‍යක්ෂක) හැකිවී ඇත. 

පවුලේ ලොකු පුතා පියා අනුව යමින් තවලමේ වැඩ පමණක් නොව ගොනා නෑවීම, කෑමට දීම සඳහා තණකොළ කැපීම පමණක් නොව ගොපල්ලන්ටම ආවේණික වස්දඬු පිඹීම පවා ප්‍රගුණ කරයි. " උඩි! උඩි!!!" කියමින් ගොනා දක්කාගෙන කඳු තරණය ඔහුට ඒ හැටි කජ්ජක් නොවේ. 

එක් සඳ වතුරින් මුලු කඳුයායම නැහැවුණු ලස්සන එහෙත් මූසල රත්‍රියක සුද්දා නිවසින් අතුරුදහන් වෙයි. ආත්තම්මා සුද්දා සොයමින් හිසලූලු අත "සුද්දා" යැයි හඬ නගමින් දුව යන දර්ශනය එකවරම මගෙ සිහියට ගෙන ආවේ එදා සත්සමුදුර චිත්‍රපටයේ මහ වැස්සේ මුහුදු වෙරළ දිගේ ලන්තෑරුමක් ඉහළට ඔසවා වටපිට බලමින් දුව ගිය දෙනවක හාමිනේවයි. 

ගමට ආ නමට හොඳ වැඩ කරන( කූඩුවක සිරකළ කුරුල්ලන් නිදහස් කිරීම වැනි) නරුමයන් දෙදෙනකු සුද්දා ඇතුළු අහිංසක හරකුන් කිහිප දෙනෙකු මසට විකිණීමට නගරයට රැගෙන යාමත් සුද්දා සෙවීමට මුලු පවුලම ගන්නා වෙහෙසත් සුද්දා සොයා පවුලේ කුඩා දරුවා ලොරියක පිටුපස එල්ලී කොළඹට යන ඒ තීරණාත්මක ගමනත් ඔස්සේ සිනමා පටයේ කතාව විහිදී යයි. එමෙන්ම සුද්දා සොරකම් කොට එඩ්වඩ්ලාට විනය කටින හරක් හොරුන්ද එඩ්වඩ්ලාගේ පංතියේම , දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්බව ඔවුන්ගේ අබලන්වූ ලොරි කබලින් හා ඔවුන් කියන කරන දෙයින් ප්‍රේක්ෂකයා හඳුනා ගනී. එයයි මෙහි ඇති ඛේදවාචකය. 

නගරයේ කාලගෝට්ටිය හා මුදල් සොයන්නට ඕනැම දෙයක් කිරීමට පසුබට නොවන රුදුරු නාගරික මිනිසුන් අතරේ සුද්දා සොයා පැමිණි පුංචි දරුවාට හමුවන තවත් දුප්පත් එහෙත් නිර්භීත හිත හොඳ දැරියක් හා ඔවුන් දෙදෙන එකතුව සුද්දා සොයා යන ගමනින් සිනමාපටය නිමවෙයි. ඔවුනට සුද්දා හමුවේද? දරුවාට ආපසු තම ගමට යාමට හැකිවේද? එඩ්වඩ්ගේ පවුලේ ඉරණම කුමක්වේද? 

සුද්දා නැතිවීමට කලින්දා නගරයට තවලමේ බඩු ගෙනගිය එඩ්වඩ් ආපිට ගෙදර එනවිට ගෙනා බිළිඳුන් නාවන පුංචි ප්ලාස්ටික් බේසම කුමටද? ඒ පවුලට තවත් සාමාජිකයකු එකතුවන්නට එනබවට පෙර නිමිත්තක්ද?

රමණීය දර්ශන, උද්වේගකර දර්ශන හා සංවේදී දර්ශන පසුපසින් නැගෙන පසුබිම් සංගීතය විඳ ගැනීමට මම මදකට දෑස් පියා ගතිමි. මා වෙනම ලොවකට පාවි ගිය බවක් දැනිණි. චිත්‍රාල් සෝමපාල කිරි ගහට ඇන්නාසේ තම යුතුකම අකුරටම ඉටුකර තිබිණි. චිත්‍රපටයේ පිරිස් හඹායන දර්ශන පසුබිමින් ඇසුණු සංගීතය ,මට සිරිපාල සහ රංමැණිකා චිත්‍රපටයේ එසේත් නැතිනම් වැලිකතර චිත්‍රපටයේ පොලිසිය වරදකරුවන් හඹායෑමේ දර්ශන සිහියට නැගීය. 

සිනමා දර්ශනය අවසානයේ ප්‍රේක්ෂකයන් සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂක නුවන් ජයතිලක හා සංගීත අධ්‍යක්ෂක චිත්‍රාල් සෝමපාල අතර පැවති සංවාදය ඉතා ඵලදායී හා අර්ථවත් ස්වභාවයක් ඉසිලීය. 

මෙවැනි සිනමා පටයක් කිරීමට මෙම කතාව සිහියට නැගුණේ කෙසේදැයි ප්‍රේක්සිකාවක නැගූ පැනයකට පිළිතුරු දුන් නුවන් පැවසුවේ ඔහුටත් කුඩා කල මෙවන් හරකකු සිටි බවත් , නොසිතූ විලසින් ඔහු නැතිවූබවත් හා ඒ හිස්බව තම මුළු ආත්මය පුරාම හොල්මන් කළ නිසා මෙවන් නිර්මාණයකින් එය එළිදැක්වීමට අදහස් කළ බවයි. 

නුවන්ගේ මංගල නිර්මාණයම මෙතරම් සියුම් ලෙස ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කිරීමට සමත්වීම පිළිබඳව බොහෝ දෙනා පැසසුම් කළ අතර සිනමා නිළි හා ප්‍රවීණ නිවේදිකා අනෝමා වත්තලදෙණිය මහත්මිය පැවසුවේ අනාගතයේදී බිහිවන තවත් ලෙස්ටර් ජේම්ස් පීරිස් කෙනෙකුගේ ලකුණු දැනටමත් නුවන් ජයතිලක පෙන්වා ඇති බවයි. 

එමෙන්ම මා සමඟ දොඩමලුවූ නුවන් ,තම සිනමාපටය මෙවන් උසස් මට්ටමින් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට කළ කැපවීම් සහ දරන ලද මහන්සිය විස්තර කළේය. ඒ ගිරි දුර්ගයේ පාන්දර දෙකට පමණ තම වැඩ කටයුතු ආරම්භ කළ බවත් හිරු රශ්මිය දැඩිවීමට පෙර අවශ්‍ය දර්ශන රූ ගතකළ බව හා ඉන්පසු වනය තුළට වැදී එහි දර්ශන ගත් බව පවසා සිටියේය. එමෙන්ම සාමාන්‍යයෙන් සිනමා පටයකට දර්ශන 100 ක් පමණ අවශ්‍ය බව හා බොහෝ විට සිනමාකරුවන් දවසකට දර්ශන එකක් හෝ වැඩිම වුවොත් දෙකක් පමණ ගෙන චිත්‍රපටය නිම කිරීමට දින 100 ක් පමණ ගත්තත් තමන් සමහර දිනවලට දර්ශන අටක් පවා සම්පූර්ණ කළ බව පැවසුවේ නිහතමානී ආඩම්බරයකින්ද යුක්තවය. එම හරකුන් දැක්කවීම හා ඔවුනට හුරුවීම ලෙහෙසි වැඩ නොවේ. එමෙන්ම ඒ කුඩා දරුවන් හා වියපත් මිත්තනිය , අපට සිටින විශිෂ්ට නිළිය, අයිරාංගනී සේරසිංහ මහත්මිය සමඟ ඒ කඳු හෙල් හා වන ලැහැබ් පීරා ඒ මනස්කාන්ත හා නොඉඳුල් දර්ශනතල වලට යෑම එතරම් පහසු කාර්‍යයන් නොවේ. 

එමෙන්ම මෙහි සියලුම නළු නිළියන් වේදිකාවෙන් සිනමාවට අවතීර්ණවූ කුසලතාපිරි පිරිසක්වීම , ඔවුන්ව මෙහෙයවීමේදී තමාට ඉතා විශාල පිටිවහලක්වූ බව නුවන් මා සමඟ වැඩි දුරටත් පැවසීය. 

නුවන් හා චිත්‍රාල් මෙන්ම මෙහි කැමරා ශිල්පියා ගැනද නොකියාම බැරිය. මෙය ඔහු කැමරාව මෙහෙයවූ ප්‍රථම සිනමාපටය වුවත් මෙයින්ම ඔහුගේ ප්‍රතිභාව විදහා අනාගතයේදී රටේ විශිෂට කැමරාශිල්පියෙකු වන ලකුණු පළකර ඇතිබව මගේ හැගීමයි. මා සමඟ ඒ අදහසට එදා සිනමාපටය නැරඹූ ප්‍රේක්ෂක ප්‍රජාවද එකඟවන බව මගේ විශ්වාසයයි. 

මම සිනමාපටය හා එයට දායකවූ සියල්ලන් ගැනම ඉතාම ආඩම්බරවන අතරම තවත් එදා මගේ සිතට වද දුන් කාරණයක් නොකියාම බැරිය. එනම් වසර පනහකටත් එපිට සිනමා අතීතයක් ඇති අපේ රටෙන් මේ පසුගිය දහඅට වතාවටම , ලංඩනයේ ආසියානු සිනමා උළෙලට සිනමා නියෝජනයක් තිබී ඇත්තේ සිව් වතාවක් පමණි. ඒ 2001 වසරේ අශෝක හඳගමගේගේ ''මේ මගේ සඳයි' , 2003 වසරේ එතුමාගේම "තනිතටුවෙන් පියාඹන්න", 2004 වසරේ ඉනෝකා සත්‍යාංගනීගේ "සුළං කිරිල්ලි " සහ 2010 වසරේ ප්‍රසන්න විතානගේගේ "ආකාස කුසුම් " යනාදී වශයෙනි. අවසන්වරට 2010 න් පසු සය වසරක්ම අපගේ රටින් කිසිදු නියෝජනයක් තිබී නැත. එසේ වූයේ කාගේ වරදින්ද? අප ඒ ගැන නොදැන සිටියාද? නුවන්ගේ මෙම චිත්‍රපටය වසර හයක නිහැඬියාවකින් පසු මෙම උලෙළේ ශ්‍රී ලංකා නියෝජනය බව පවසන්නේ ඉතාම කණගාටුවෙන් හා ලැජ්ජාවෙනි. අපේ රටේ සිනමාකරුවන්ගේ දෑස් මේමගින්වත් විවර වේවා යන්න මගේ ඒකායන ප්‍රාර්ථනයයි. 

එමෙන්ම අපේ සිනමාපටය තිරගත කිරීමට වෙන්කර දී තිබූ ශාලාවේ තත්වය ගැනත් යමක් නොකියාම බැරිය. එයට ඇතුළු වූ මෙහොතේ පටන්ම අප මේ සිටින්නේ එංගලන්තයේමදැයි මට සිතිණි. සිනමාපටයේ ප්‍රමිතිය හා එක්වවුන් රසික කැල නිසා මේ අඩුපාඩු අමතකව ගියත් ලංකාවෙ ඇති අඩුම පහසුකම් ඇති සිනමාහලත් මීට වඩා හොඳ යැයි මට සිතුණි. ඒ සීතල දවසේ එහි තිබුණෙ ඉතා කුඩා හීටරයකි. ආසන 120 කට සීමාවූ ඒ කුඩා ශාලාවේ පිටුපසම පේළි දෙක තුනක් හැර ඉතිරි සියල්ලම පිහිටා තිබුණේ එකම තලයේය. එම නිසා නරඹන්නන්ට කොරවක්කන් මෙන් එහාට මෙහාට බෙල්ල දික්කරමින් සිනමා පටය නරඹන්නට සිදුවිය. හැම රටටම ඔවුන් මෙසේ සැලකුවේ නැත. සමහර රටවල සිනමාපට නගරයේ හොඳම ශාලාවල ප්‍රදර්ශනය කර තිබිණි. මේ ඔවුන් අපේ රටේ සිනමාව දෙස බැලූ කෝණයයි. ඔවුන් මෙය නැරඹීමට ප්‍රේක්ෂකයන් දහදෙනෙකුවත් ඒවියැයි නොසිතුවා විය හැක. මෙය අපේම වරදයි. අපේ සිනමා කර්මාන්තයේ වරදයි. 

මෙම සිනමාපටයේ ප්‍රමිතිය හා පැමිණි ජනතාව දුටු ඔවුන් ලබන වර මෙසේ නොකරනු ඇතැයි මට සිතේ. නුවන් මඟ කපා කටුපඳුරු එළිපෙහෙළි කොට මාර්ගය තනාදී ඇත. දැන් ඉදිරියේ එන අපේ අයට ඇත්තේ උසස් නිර්මාණ කොට ඒ තැනූ මඟේ යෑම පමණි. ඒ දිනය සහ ශ්‍රී ලාංකීය සිනමාවේ ස්වරණමය යුගයක් ඉක්මනින්ම එළැඹෙනතෙක් සිනමාවට සහ කලාවට ඉතා උග්‍රව ආදරය කරන්නකු ලෙස මම දෑස් දල්වා බලාසිටිමි. ඒ සමඟම " සුළඟ අප රැගෙන යාවි " සිනමාපටයේ තිර රචක සහ අධ්‍යක්ෂක නුවන් ජයතිලක, සංගීත අධ්‍යක්ෂක චිත්‍රාල් සෝමපාල, කැමරා අධ්‍යක්ෂක මැකලන් ඇඩම්ස් ,නිෂ්පාදිකා මායා නවගත්තේගම සහ සිනමා පටයට නන් අයුරින් දායක වූ අයිරාංගනී සේරසිංහ මහත්මිය ඇතුළු නළු නිළි කැලට සහ සියලුම කාර්මික ශිල්පීන්ට මගේ කෘතඥතාව පුදකරන අතර තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට අවශ්‍ය ශක්තිය හා දහිරිය ලැබේවායිද පතමි. අවසාන වශයෙන් එදා සිංහල , දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනින්ම අමතා මෙම සිනමාපටය ප්‍රේක්ෂකයන්ට හඳුන්වාදුන් කරීමා මරික්කාර් මහත්මියට සහ පැමිණසිටි සියළුම රසික රසිකාවියන්ට මගේ ප්‍රණාමය පුදකරමින් මම නිහඬ වෙමි.

චන්දන ගුණසේකර


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction