මගේ දිනපොත - 4

දෙදහස් පහළොවේ නොවැම්බර 9

සති අන්තයේ කිසිම දෙයක් කරන්න හිතේ නිදහසක් තිබුණෙම නෑ. මුහුණු පොතේ , යතිවරයෙකුගේ වියෝවත් සමඟය ඇරඹි සීතල යුද්ධය තවම නිමවන හැඩක් නෑ. ඕවත් හිතේ තියාගෙනම තමයි උදේම වැඩට ආවෙ. 

මගදි වාහනේ රේඩියෝවට ඕනවට එපාවට ඇහුම්කන් දීගෙන එනකොට අසූව දශකය අඟ භාගයේදී මම හිතන්නේ එකදහස් නමසිය අසූ අටේදි පමණ මා සවන් දුන් සහ ඉතාමත්ම ප්‍රියකළ ඉංග්‍රීසි ගීතයක් වාදනය වන්නට පටන් ගත්තා. ඒ තමයි පෙට් ෂොප් බෝයිස්( Pet shop boys) ගායනා කරන it's a sin ගීතය. 

ගීතයත් සමගම මගේ හිතත් අවුරුදු විසි පහකට පමණ පසුපසට ගියා. ඒ දවස්වල අපි සිංදු ඇහුවෙත්, මුවන්පැලැස්ස,මොණරතැන්න ආදී ගුවන්විදුලි නාට්‍යවලට සවන් දුන්නෙත් ගුවන් විදුලියෙන්. රෑපවාහිනියක් තියා මට මතකයි පාසලේ පාඩමකට රෑපවාහිනියක පිංතූරයක්වත් මට සොයාගන්නට බැරිවුණා. මම රේඩියෝවෙන් තමයි ඒ දවස්වල චිත්‍රපට වෙළඳ ප්‍රචාරක වැඩසටහන් වලට, හින්දි ගී,බයිලා ගී,විරිඳු හා සරල ගී වලට සවන් දුන්නෙ. අපට කැසට් රෙකෝඩරයක් ඒ දිනවල තිබුණෙ නෑ. ඒ වගේම සිංහල සිංදු මිසක් ඉංග්‍රීසි සිංදු වලට ඇහුම්කන්දීමේ උවමනාවක් හෝ අවස්ථාවක්වත් තිබුණෙ නෑ. 

මේ කාලයේ තමයි අපේ ගෙදරට අල්ලපු ගෙදරට අළුත් පවුලක් පදිංචියට ආවේ. ඔවුන්ගෙ පුතාලා දෙන්නා ඉගෙන ගත්තෙ මහ නුවර ත්‍රිත්ව විද්‍යාලයේ. නිවාඩුවට තමයි දෙන්න ගෙදර ආවේ. නිවාඩුවට ආපු වෙලාවේ ඉදන්ම දෙන්නම කරන්නේ පුංචි කැසට් ප්ලේයර්(Walkman) එකක් තියාගෙන ඉයර් ෆෝනයක් කනේ ගහගෙන සිංදු අහන එක. එයාල අපිත් එක්ක ටික ටික යාළු වුණාට පස්සෙ මටත් ඒවා අහන්න දුන්නා. එය කනට ගහ ගත්තම රේඩියෝවෙන් අහනව වගේ නොවෙයි මාව අමුතුම ලොවකට ගියා මට මතකයි . ඔවුන් ඇහුවෙ ඉංග්‍රීසි සිංදු. ඒ හේතුවෙන් මටත් it's a sin, Hotel California, manic Monday, hello, I just call , sacrifice, lady in red වැනි ඒ කාලයේ ලංකාවේ එක පංතියක මිනිසුන් අතර අතිශය ජනප්‍රියවූ ගීතවලට සවන් දීමට අවස්ථාව උදා වුණා. මේවා හිතමින් ආපු මාව පියවි සිහියට ආවෙ රථයේ වේගය අඩු නිසා පසුපසින් ආ රියදුරා මාව උඩ යන්න ගහපු හෝන් පාරට. 

ඒත් එක්කම it's a sin සිංදුව ඇහිලා වැඩිය ඉංග්‍රීසි දැනුම නැති අපේ ව්‍යාපෘතියේ ඉංදියාවෙන් පැමිණි සීක් කම්කරැ සගයකු කී කතාවක් මතක් වෙලා මට තනියම හිනා. මේක අහල මිනිහ මට කියනව " බලපං සුද්දො අපි ගැනත් සිංදු හදලනෙ" කියලා. ඒ පාර මම තවත් හොඳට මේ සිංදුවට කන් දුන්නා මේකා මේ කියන කතාව මොකක්ද කියල බලන්න. පස්සෙයි වැඩේ තේරැනෙ. It's a sin කියන එක මිනිහට ඇහිලා තියෙන්නෙ මිස්ටර් සින්ග් ( Mr Singh) වගේ. 

වැඩ පොළෙත් කවුරැත්ම හිටියේ නෑ උදේම ඇවිත් ව්‍යාපෘතියේ Quantity Surveyor ඇරෙන්න. එයාගෙ නම ජැකී. මම එනකොට එයා සයිට් ඔෆිස් එකේ දොර ළඟ එළියෙ දුම්වැටියක් දල්වාගෙන දැහැන් ගත වෙලයි හිටියෙ. ඇයට සුබ උදෑසනක් කියල සුබ පතලා මමත් එතැන මොහොතකට නතර වුණේ ඇය සමඟ වචනයක් දෙකක් කතා කරන්න. සාමන්‍යයෙන් , කොහොමද සති අන්තය? හොඳට විවේක ගත්තද? පොඩි අඩියක් ගැහුවද වගේ සඳුදා උදේට ඇහෙන ඒකාකාරී ප්‍රශ්න. 

ඇය ඉතා සුහදශීලී කාන්තාවක් නිසා මේ එදිනෙදා ප්‍රශ්නෝත්තර මාලාවෙන් පස්සෙ මට හිතුණා ඇයගේ මේ දුම්බීම ගැනත් අහන්න. ඇය ඉතා අධික ලෙස එයට ඇබ්බැහි වී සිටියා. සෑම පැයකම වගේ එළියට යනවා දුම්බීමට. සාමන්‍යයෙන් සුද්දො අනුන්ගෙ පුද්ගලික දේවල් වලට ඇඟිලි නොගසන නිසා ඔවුන්ගෙ පුද්ගලික දේටත් ඇඟිලි ගැසීම සදාචාරාත්මක නැති හෙයින් මම ඇයගෙන් මුලින්ම ඒ ගැන අහන්න අවසර ගත්තා. 

මම ඇයගෙන් ඇහුවා , "ඔබ අධික ලෙස දුම් පානය කරනවා. එය සෞඛ්‍යට හොඳ නෑ නේද ?" කියා. ඇය දුන්න උත්තර වලට ඇත්තටම මට පුදුම සහ ඇය කෙතරම් විවෘත සහ සැහැල්ලුවෙන් ජීවිතය දෙස බලන කාන්තාවක් නේදැයි සිතුණා. ඇය දැනටමත් ජානමය හේතුවකින් ඇට මිඳුලු පිළිකාවකින් පෙළෙන බව මා සමඟ මුළින්ම පැවසුවා. ඔබ විශ්වාස කරන්න ඇය එය පැවසුවේ අප දත් කැක්කුමක් හෝ හිසේ ඇම්මක් ගැන හෝ පවසනවාටත් වඩා සැහැල්ලුවෙන්. එමෙන්ම මෑතකදී ඇයගේ පෙනහලු පරික්ෂා කළ බවත් ඒවා අවුරුදු 25ක තරැණියකගේ මෙන් නිරෝගී බවත් පැවසුවේ සියුම් ආඩම්බරයක්ද ඇතිවයි. ඒත් දුම්බීමට සෑහෙන වියදමක් යනවා නේදැයි මා ඇසූවිට ඇයට දරුවන්  නැතිබවත් ඇය සහ සැමියා හොඳට හම්බ කරන නිසා කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැතිබවත් පවසා සැමියාද ස්නායු රෝගියකු බවත් ඔහු රෝද පුටුවේ සිට සේවය කරන බවත් පවසා මේ කෙටි දිවියෙ සතුටින් සිටින බව මා සමඟ වැඩිදුරටත් පවසා සිටියා. මට ඇතිවුණේ ඇය ගැන ඉතා ආඩම්බරයක්. අප ජීවිතයේ සමහර විට කෙතරම් පුංචිදේට මානසිකව වැටෙනවාද? මෙවන් නොසැලෙන චරිත දෙස බලන විට මට මා ගැන ඇතිවූයේ ලැජ්ජාවක්. 

එමෙන්ම ඇය ඔහු සමඟ අවුරුදු දහසයේ පටන් අද දක්වා අවුරුදු විසි පහක් එකට ජීවත්වන බවත් මේ කාලයටම ඔවුන් අතර බහින්බස් වීම් ඇතිවී ඇත්තේ හතර සැරයක් බවත් මා සමඟ පැවසුවේ ඇසක්ද අඩවන් කරමින් දඟකාර සිනහවක් පාමින්. 

දෙදහස් පහළොවේ නොවැම්බර් 10

ඊයෙ පැවති විස්සයි විස්සෙ තරගයෙනුත් ලංකාවට ජය ලැබිල. මට අපේ කොල්ලො ගැන ආඩම්බරයක් සහ සතුටක් ඇතිවෙන ගමන්ම බටහිර ඉංදීය කොඳෙව්වන් ගැනත් ඇතිවුණේ පුදුම කණගාටුවක්. කොහොමට හිටපු කණ්ඩායමක්ද? මුල්ම ක්‍රිකට් සූරතා තරඟ දෙකේදිම ලෝක ශූරයන් වුණේ ඔවුන්. සර් ගාෆීල්ඩ් සෝබර්ස්ලා, ජොයෙල් ගානර්ලා, රිචී රිචඩ්සන්ලා, ඩෙස්මන් හේන්ස්ලා ලෝකයම හොල්ලන් වුන් හැටි මට සිහිවුණා. හැම රටකම හැම දේටම රිංගන අවලං දේශපාලනය කොඳෙව්වන්ගෙ ක්‍රිකට්වලටත් රිංගලා වගේ. 

කොහොමටත් කොඳෙව්වන්ට , ජැමෙයිකානුවන්ට මම කැමතියි. නැව ගිලුණත් බෑන් චූන් වගේ නිතරම සතුටින් සැහැල්ලුවෙන් සිංදුවක් කියාගෙන ඉන්න ජාතියක්. ලෝක පූජිත බොබ් මාලේ ගායකයාව මට සිහිවුණා. ඔවුන්ගේ තියෙන්නෙ අමුතු ආගමක්. සමකයට ආසන්න රටවල මිනිස්සු හැමදාම ලැබෙන හිරුගේ කිරණ සහ උණුසුම හින්දද මන්දා ශීත රටවල බුම්මගෙන ඉන්න මිනිසුන්ට වඩා දුප්පත් වුණත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නෙ. ඔවුන්ට මුදල් ඇරෙන්න අනෙක් හැමදේම තියෙනවා. 

සුද්දො ක්‍රිකට් සොයාගත්තට අපේ රටවල් තමයි එහි ඵලය නෙලා ගත්තේ. මෙහෙ බහුතරයක් මිනිස්සු කැමති පාපන්දු සහ රග්බි වලට. සීමිත එක පංතියක පිරිසක් තමයි ක්‍රිකට් ලෝලියො. ක්‍රිකට් නිසා අපේ රටට මුළු ලෝකයෙම කීර්තියක් අත්කරදුන්න අපේ කොල්ලන්ට මම හැමදාම ආදරෙයි. 

ඊයෙ රෑ හුග කාලෙකට පස්සෙ ගෙදර ඉදල ඉංග්‍රීසි චිත්‍රපටයක් නැරඹුවා. එහි නම Dessert Flower. කාන්තාරයේ කුසුම. දුක දිනා ජීවිතය ජයගත් ඒ අධිෂ්ඨානශීලී සෝමාලියානු එඬේර කෙල්ල වාරිස් ඩයරිගේ කතාව. මම මෑතකදි තමයි ඇගේ කතාව සිංහලෙන් කියෙව්වෙ. ඒ රංජිත් කුරැප්පු මහත්තයා ලියපු පරිවර්තන කෘතියෙන්. ඉංග්‍රීසි පොතත් ටිකක් කියෙව්වා. ඒත් චිත්‍රපටයනම් මා සිතූ තරම් විශිෂ්ට කෘතියක් නොවන බව මගේ හැගීමයි. මහා හදිසියකින් කතාව ඉවර කරන්න අධ්‍යක්ෂකට ඕනවෙලා වගේ මට හිතුණෙ. ඔයිට වඩා ලස්සනට චිත්‍රපටය ගලා යන්නට තිබුණා. සමහර සිද්ධීන් පොතට වඩා බොහොම වෙනස්. පොතක් සිනමා පටයකට නැගුවම මෙහෙම වෙන බව මම දන්නවා. බොහෝ චිත්‍රපට පොත මෙන් සාර්ථක නැතිබවත් මම දන්නවා. 

ඒත් ලංකාවෙ හිටපු , අපේ අවාසනාවට අකාලේ අපෙන් සමුගත් ශූර තිරපිටපත් රචක මහා සිනමාවේදී තිස්ස අබේසේකරයන් මට මතක් වෙනවා. එතුමා කළ නිර්මාණ කිහිපයෙනම එතුමා කෙතරම් දක්ෂයෙකුදැයි සිතා ගන්නට පුළුවන්. 

ඉතාමත්ම පුංචි කෙටිකතාවක් වූ ජී බී සේනානායකයන්ගේ "නිධානය"  ට එතුමා ලියූ තිරපිටපතින් හා ලෙස්ටර් සූරීන්ගේ අධ්‍යක්ෂණයෙන් මහා විශාල සිනමා නිර්මාණයක් බිහිවූ බව ඔබට මතක ඇති. එයට හේතුව වූයේ තිස්ස අබේසේකරයන්,  ඒ කෙටි කතාව වෙනුවෙන් ලියූ අති විශිෂ්ට එමෙන්ම ප්‍රබල තිර රචනය. ඒ වගේම තමයි විරාගය. මාටින් වික්‍රමසිංහයන්ගේ පොත නරකයි කියනවා නොවෙයි. එහෙත් චිත්‍රපටය පොත අභිබවා ගිය විශිෂ්ට කෘතියක් වුණා. අබේසේකරයන් තිරපිටපත ලියූ ගුණදාස අමරසේකරයන්ගේ කරැමක්කාරයෝත් ඒ වගේමයි. 

තිස්ස අබේසේකරයන්ට ලෝක සිනමාව ගැන පමණක් නොවේ භාෂාව, ඉතිහාසය, සංගීතය ඇතුළු සියලුම විෂය ධාරාවන්හී නිපුණත්වයක් තිබූ බව එතුමා ලියූ " අයාලේ ගිය සිතක සටහන්" පොත කියෙව්වොත් ඔබට වැටහේවි. 

ඒ වගේම ලෙනාඩ් වුල්ෆ් ලියූ village in the Jungle කෘතිය ඇසුරින් නිර්මාණයවූ බැද්දේගම සිනමාපටය විශිෂ්ට කෘතියක් වුවත් පොතේ සිලිඳුගේ අධ්‍යාත්මය සහ බුදු දහම ගැන කරණ ගැඹුරැ විග්‍රහය ඒ තරමටම සිනමා පටයට අන්තර්ගත වෙලා නැතිබව මගේ විශ්වාසයයි. කොහොමටත් අවසාන නිගමනය තමයි පොතකින් තරම් කලාතුරකින් ඇරෙන්න චිත්‍රපටයකින් රසිකයාගේ අධ්‍යාත්මයට ඇමතිය නොහැකි බව. 

අද උදේ වැඩට එන ගමන්  රුසියාවෙ ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජක පාවිච්චිය ගැන කියැවුණු ප්‍රවෘතියක් මගේ සවන් වැකුණා. ක්‍රීඩාවෙත් මහත්මා ගති නැතිවේගෙන යන යුගයක් මේ. හැමදේම  රුපියල් ශත වලට යටවූ මේ යුගයේ බුකි කාරයන්ගේ මල්ල තර කරන්නට තරඟ පාවාදීම් නිරතුරුවම ඇසෙනවා. ඒ අතරට මේ තහනම් උත්තේජක භාවිතයත් ඇවිත්.  රුසියානු ක්‍රීඩකයන් එය දිගින් දිගටම කරගෙන යන හෙයින් ඔවුනට අන්තර්ජාතික ක්‍රීඩාවලට සහභාගීවීම තහනම් කිරීමට තීරණයක් ගන්න යනවා. 

මට රුසියාව ගැන ඇත්තටම දුක හිතුණා. කොහොමත් අන්තර් ජාතිකය ඒ කියන්නෙ විශේෂයෙන්ම ඇමෙරිකාව එංගලන්තය ,කොන්ඳ නමන් නැතිව ඔළුව කෙළින් තියාගෙන ඉන්න රුසියාව , ඉරානය හා කියුබාව වගේ රටවල් එක්ක ජන්ම වෛර බව අප දන්නවා. සදාම් හුසේන්ට සහ ගඩාෆිට තම ජීවිත වලින් වන්ඳි ගෙවන්න වුණේ ,ඔවුන්ගේ පදේට නටපු නැති නිසා කියන එක කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහසක්. 

අභ්‍යවාකාශ තරණයේදී ඇමෙරිකාව සමග කරට කර සිටි රුසියාව , මහා සාහිත්‍ය විප්ලවයකින් ලොව හෙල්ලූ රුසියාව , ලෙනින්ලගෙ , මැක්සිම් ගෝර්කිලගේ සුවඳ රැදුණු රුසියාව කෙතරම් අගේට සිටියද? ඒ දවස්වල මැක්සිම් ගෝර්කිගේ " අම්මා" කියවද්දී ," වානේ පන්නරය ලැබූ හැටි", " පෙරළූ නැවුම් පස " වැනි විප්ලවීය නවකථා කියවද්දී ඒ උත්තේජනය අපටත් දැනුණා.  රුසියාවෙ මහා විපලවයට මේ ලේඛකයෝ තම පන් හිඳෙන් කළ සේවය අනූනයි. කම්කරැවො ගැන, ගොවියො ගැන විශේෂයෙන්ම පීඩිත පංතියේ දුක් විඳින ජනතාව ගැන හිතේ ආදරයක් ඇතිවුණේ ඒ කාලෙ ඔය පොත්වලින් ලද පන්නරයෙන්. 

කොහොමටත් ධනපති මුදලාලිලා හෝ අවලං දේශපාලුවන්ට වඩා මුඩුක්කුවෙ සෝමෙලා හා වැල්ලෙ මාළු සංජීවලා මට හැමදාම වටිනවා. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction