මගේ දිනපොත 2

දෙදහස් පහළොවේ නොවැම්බර් 3

ඊයෙ සුනිල් මාධවයන්ට කතා කළාට පස්සෙ හිතට දැනුණෙ මහ පුදුම තනිකමක්. ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන්ගේ චරිතාප්‍රදානය කියවලා ඉවරකළ දවසෙත් මෙවැනිම හැගීමක් තිතට දැනුණු බව මට මතකයි. ඒක වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම හැගීමක්. මම , මොනවද අපෙන් කෙරෙන්න ඕන කියල ඇහුවම මොනවත් ඕන නෑ හැමදාම සහෘදව ඉන්න කියපු එක තමයි මගේ හදවතට තදින්ම කා වැදුනෙ. 

අදත් එතුමට කතා කළා. හරිම සතුටුයි. එක වෙලාවක ඒ පැත්තෙන් කිසිම හඬක් නැති නිසා ඔබතුමාට මාව ඇසෙන්නේදැයි මම විමසුවම " ඔව් ඔව් ඇහෙනවා ඒත් මට සතුටටයි දුකටයි කතා කරගන්න බැරිවයි ඉන්නෙ " කියල එතුමා කිව්වහම මගේ දෑස් වලට පිරුනු කඳුළු නවත්වාගත්තෙ බොහොම අමාරැවෙන්. මේ තමයි අව්‍යාජ සංවේදිත්වය. එතුමා එකක් හිතේ තියාගෙන තව එකක් ලියපු කෙනෙක් නෙමෙයි. සැබෑම කලා කරැවකු නම් තමන් ලියන කියනදේ තමන්ගෙම ආත්මයම විය යුතුයි යන්න මගේ විශ්වාසයයි. එසේ නැතිනම් එහි ඇත්තේ රඟපෑමක් පමණයි. 

කලා කරැවන් ගැන , විශේෂයෙන්ම අපේ රටින් බිහිවූ අය ගැන මගෙ හිතේ තියෙන්නේ අසීමිත ආදරයක්. ඒ මම ඔවුනගේ නිර්මාණ මගේ ආත්මයම කරගෙන සිටින නිසා වන්නට ඇති. මේ අය වයසට ගියාම පුදුම විදිහට අසරණ වෙන්නේ. එංගලන්තය ඇමෙරිකාව වැනි රටවල නම් ඔවුන් කළ නිර්මාණ වලින්වත් ඔවුන්ට ආදායමක් ලැබෙන විදිහටයි ක්‍රමවේදීන් සකස්කරලා තිබෙන්නෙ. ඒත් ලංකාවෙ කොහෙද එහෙම වැඩ පිළිවෙළක්. 

පොදු ජනතාවත් සමඟ ඉතා විනෝදෙන් සහ සැහැල්ලුවෙන් ගත කළ අති සංවේදී බහුතරයක් කලාකරැවන් පුළුවන් කාලේ අනාගතයට යමක් හරි හම්බ කර නොගත් එකට සමහරු ඔවුනට දොස් කියන්න පුළුවන්. ඒත් මම නම් එහෙම හිතන්නෙ නෑ. කලාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයම කැප කළ ඔවුන්ගේ ඒ දුර්වලතා අමතක කොට අපට හැකි පමණින් ,ඔවුන් අප වෙනුවෙන් කළ සේවයට කෘතගුණ සැලකීමයි අප අතින් විය යුත්තේ. 

මෙවන් වැඩ වලට මූලික වෙල වැඩ නොකොළොත් එය හරියට නොකෙරෙන බව මා අත්දැකීමෙන් දන්නවා. එමෙන්ම එහෙම වැඩවලට අතගැහුවම ඒවා කරන්න අය නැති වුණාට දොස් කියන්න, වැරඳි හොයන්න නම් ඕනතරම් අය ඉන්න බවත් අත්දැකීමෙන්ම මම දන්නවා. ඒත් හොඳ වැඩක් කරල ඒ අසරණයන්ගේ මුහුණෙ සිනහවක් දකිනවිට ඒ ලැබෙන දෝෂාරෝපණ මට අමතක කරන්න පුළුවන්. 

දෙදහස් පහළොවෙ නොවැම්බර් 4

බ්‍රිතාන්‍යයේ වසරකට දික්කසාද වන සංඛ්‍යාව ලක්ෂ දෙකක්ලු. අද උදේ සේවයට යන අතරෙ නිවුස් වල කියනව ඇහුණා. බඳින උන් ඔක්කොම දික්කසාද වෙනවද මන්දා. මේක මහා අබුද්දස්ස කාලයක්. 

අපි කුඩා සංදියේ ලංකාවෙ දික්කසාදය කියන වචනයත් හරියට මිනී මරනවා වගේ කවුරැත් කරන්න සහ කියන්න පවා බියවූ වචනයක්. ඒත් දැන්නම් ලංකාවෙත් දික්කසාදය සාමන්‍ය දෙයක් බව ඇසෙන කතා වලින් පෙනෙනවා. අපේ අම්මලගෙ කාලෙ ඉතිං බැන්ඳොත් බැන්ඳම තමයි. මොන දුකක් හරි දරාගෙන එකට උන්නා. විශේෂයෙන්ම දරැවො නිසා. ඒත් එහෙමත් ඕන නෑ කියලත් හිතෙනවා. නමුත් මෙවැනි දෙයින් අසරණ වෙන්නෙ දරැවෝ. පුදුම වැඩේ කියන්නෙ පෙම්වතුන් විදිහට හොඳින් සිටින අයම විවාහය කියන නීතිමය ලියවිල්ලට යටත් වුණාම වෙනස්වන ආකාරයනෙ. 

මේ රටවල සංස්කෘතිය අනුව නම් එයාලා එකට ජීවත් වෙලා දරැවොත් ලැබුණට පස්සෙ තමයි තමන්ට විවාහ වෙලා එකට ඉන්න පුළුවන්ද බලන්නෙ. මෙහෙ දහ දෙනෙකුට කතා කළොත් නම දෙනෙකුම දික්කසාද වෙලා. එක්කො එකට ජීවත් වෙනවා විවාහ වෙලා නෑ. බහුතරයක් එකට ඉන්නවා ඒත් පහුගිය විවාහ වල ළමයි දෙන්නටම ඉන්නවා. හරිම සංකීර්ණ සහ සම්බන්ධතා. ඒත් හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. 

විවාහය හෝ ආදරය කියල දෙකක් නෑ. දෙකම එකයි. එකිනෙකා කෙරෙහි අවබෝධය, කැපවීම හා එකඟතාවය තමයි මේදේවලට මුල්වෙන්නේ. ආදරය කරන්න ඕනෙ කැපකිරීමෙන් සහ ආපිට දෙයක් බලාපොරොත්තු නොවී. එතකොට දුකක් නෑ. ජීවිතය කොච්චර නම් කෙටිද? කවුරුත් මේ ගැන හිතනවනම් ප්‍රශ්ණ සෑහෙන දුරට අඩුවෙයි. 

මේවා ගැන හිත හිත ඔළුව තෝන්තු වෙලා ගෙදර යන කොට තමයි ලස්සන මුතු අකුරින් මගෙ නමට ලංකාවෙන් ආපු ලිපයක් මේසෙ උඩ තියෙනවා දැක්කේ. තාක්ෂණයේ දියනුවත් සමඟ අතින් ලියුම් ලිවීමේ සංස්කෘතිය වැළලී ගිය මේ යුගයේ අවුරුදු  පහළොවකට පමණ පස්සේ මට ලබුණු මේ ලිපිය විවෘත කළේ ඉතාම නෙඉවසිල්ලෙන් හා කුතුහලයෙන්. 

ලියුම එවලා තිබුණේ සම්මානනීය සිනමාකරැවෙක්. අඹ යහළුවෝ ටෙලිනාට්‍ය නිර්මාණය කොට අපේ හදවත් දිනාගත් සුදත් දේවප්‍රිය එතුමයි. මේ තාක්ෂණයට පිංසිදුවන්නට එතුමා දැන් මගේ සමීපතම හිතවතෙක්. මගේම සහෝදරයෙක්. මා කපුගේ සූරීන් ගැන ලියූ ලිපියට සහ එතුමා ගැනම ලියූ ලිපියටත් ස්තූති කරමින් ලියා තිබූ ඒඅව්‍යාජ ලිපිය මම හදවතට තුරුළු කරගත්තේ ඉතාමත්ම සෙනෙහසින්. සුදත් දේවප්‍රියයන් කෙතරම් නම් නිහතමානී සුන්දර පුදගලයෙක්ද? එතුමාට මගේ ආචාරය. 

අසරණ මිනිසුන්ට සුබ සෙත සලසන්නට සහ සිනමාවේ අභිවෘද්ධියට විශාල සේවාවක් කළ දිරිය කතක්වූ සෝමා එදිරිසිංහ මැතිනියගේ අභාවය ගැන දැනගත්තේ මුහුණු පොතින්. ජීවත්ව සිටියදී එතුමියගේ පිංතූරයක් පවා පළ නොවූ මුහුණු පොත එතුමියගේ පිංතූරවලින් හා ගුණ ගායනා වලින් වැසී ගිහින්. 

ලංකාවෙ පහළ වූ දිරිය කතුන් ඉතරින් සිරිමාවෝ බංඩාරනායක මැතිනිය ඇරුනම මගෙ සිතේ විශාල ගෞරවයක් සෝමා එදිරිසිංහ මැතිනියටත් තිබුණා. තම සැමියාගේ අකල් වියෝවින් පසු දරුවන් සමඟ තනිවූ එදිරිංසිංහ මැතිනිය දියණුවේ හිණි පෙත්තටම නැග , මෙතෙක් කල් පැමිණි ගමන සැමටම ආදර්ශක්. ඇය ව්‍යාපාර අංශයෙන් ලැබූ දියුණුව සුළු පටූ නැහැ. එමෙන්ම සමාජ සේවා වැඩ සහ සිනමාපට දහනමයක් තැනීම සඳහා ලබාදුන් සහයෝගය අපට කවදාකවත් අමතක කරන්නට බැහැ. සිනමාට නිත්‍ය නිෂ්පාදක යන තනතුරක් නොමැති ලංකාවේ බොහෝ වටිනා චිත්‍රපට අධ්‍යක්ෂකගේ මනසේ ඇඳි සිහිනයක්ම පමණක් වී තිබෙන්නේ සෝමා එදිරිසිංහ මැතිනිය වන් නිෂ්පාදකවරු අපට නැති නිසා. එතුමියගේ වියෝව අපේ රටටත් විශේෂයෙන්ම සිංහල සිනමාවටත් පිරවිය නොහැකි පාඩුවක් වේවි. 

චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction