sri express

ක්‍රිස් හියුන් යන නම අද බ්‍රිතාන්‍යයට අලුත් නැත. වර්තමාන ආණ්ඩුවේ බලශක්ති සහ පාරිසරික අමාත්‍යවරයාව සිටි ඔහු එක් රැයකින් වීරයාගේ චරිතයේ සිට ද්‍රෝහියා බවට පත්වූයේය.


දේශපාලන විද්‍යාව පිළිබඳව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයෙන් උපාධියක් ලබාගත් හියුන් දේශපාලනයට පිවිසියේ ලිබරල් පාක්ෂික මන්ත්‍රීවරයකු ලෙස යුරෝපීය පාර්ලිමේන්තුවට තේරී පත්වීම සමඟය. ඒ 1999 දී දකුණු නැඟෙනහිර එංගලන්තය නියෝජනය කරමිනි.

බ්‍රිතාන්‍ය පාර්ලිම්න්තුවේ මන්ත්‍රීවරයකු ලෙස 2005 දී පත්වූ ඔහු 2010 සභාග ආණ්ඩුවේ බලශක්ති සහ පාරිසරික අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබීය. වරෙක ඔහු ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා තරග කොට පරාදවූයේ ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකිනි. ඒ එහි වර්තමාන නායක නික් ක්ලෙග්ටය.

ග්‍රීසියේ උපත ලද බ්‍රිතාන්‍ය රජයේ ආර්ථික විශේෂඥවරියක වූ විකී ප්‍රයිස් නැමැති සුප්‍රසිද්ධ කාන්තාව සමඟ 1984 වසරේදී විවාහ වූ ඔහු ඇය සමඟ දරුවන් පස්දෙනකු ගේ පියකු බවට පත්වූයේ විකීගේ කලින් විවාහයේ දරුවන් තිදෙනාට ද පියෙක් වෙමිනි. වේගයෙන් රිය පැදවීමේ වරදකට හසුවී 2003 දී හියුන් වෙත පොලිසියෙන් දඩ කොළයක් තැපෑලෙන් ලැබිණ.

එයට අනුව ඔහුගේ රියදුරු බලපත්‍රයේ ද ලකුණු 3ක් කිරීමට සිදුවන බව ද එහි සඳහන් විය. ඒ වන විටත් තම බලපත්‍රයේ ලකුණු තිබූ හියුන් බිරිය හා කතාවී එම වරද ඇය භාරගෙන ඇගේ රියදුරු බලපත්‍රයට ලකුණු වැටෙන අයුරින් දඩය ගෙවීමට කටයුතු සිදු කළේය. අවුරුදු දහයකට පෙර කෙරුණු ඒ නීති විරෝධී ක්‍රියාව නීතිය නොමඟ යැවීමට කටයුතු කිරීමක් වන්නේය.

2010 වසරේ දිනෙක හියුන්ගේ දේශපාලන දිවියට කණකොකා හැඬුවේය. ඒ ඔහු පෙම්වතියක් සමඟ රැයක් ගත කළ බව ඡායාරූප සමඟ පුවත්පතක පළවීමට යන ආරංචිය ලැබුණු විටය. කලබල වූ හියුන්, තවම ඒ කරුණ නොදැන සිටි බිරිය හමුවට ගොස් ඔහු ඇගෙන් අයින්වීමට සිතා සිටින බව දැන්වීය.

ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පතිත වූ මේ පුවත ගැන විමසා බැලූ බිරිය දැනගත්තේ හියුන්ගේ ප්‍රවෘත්ති ලේකම්වරිය සමඟ ඔහු සබඳතාවයක් ගොඩනඟා ගෙන ඇති බවයි. ඒ කරීනා කනිංග්හැම් නමැති කාන්තාවන් සමඟ ද ලිංගික සබඳතා පවත්වනවා යැයි කතාබහට ලක්ව සිටි තැනැත්තියයි. වහා ක්‍රියාත්මක වූ හියුන්ගේ බිරිය අනාචාරය යන කරුණු මත තම සැමියාගෙන් වෙන්වීමට දික්කසාද නඩුවක් පැවරුවාය. 2011 ජනවාරි මාසයේ දී එහි අවසාන තීන්දුව ලැබිණ.

නියම සටන ඇරඹුණේ ඉන් අනතුරුවය. දික්කසාද බිරිය ඔහුට පාඩමක් ඉගැන්වීමට කටයුතු සම්පාදනය කළාය. මේල් ඔන් සන්ඩේ පුවත්පතේ වාර්තාකරුවෙක් ඇමතූ ඇය ඔහු ගෙන්නා 2003 දී අධික වේගයෙන් රිය පැදවීමේ වරද තමන් පවරාගත් අයුරු ඔහුට හෙළි කළාය. මෙය ඒ පුවත්පතට ලැබුණු ලොතරැයියක පළමු ත්‍යාගය මෙන් විය. පොල්ගෙඩි අකුරින් මුද්‍රණය වූ මේ පුවත හියුන්හට පාත්වූ හෙණයක් මෙන් විය. ඔහු එකහෙළාම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

එහෙත් ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය මේ ප්‍රවෘත්තිය මත තම විමර්ශන ඇරැඹීය. නීතිපති දෙපාර්තමේන්තුව සමඟ කරන ලද සාකච්ඡා කීපයකින් අනතුරුව හියුන්ට විරුද්ධව චෝදනා සැකසීම භාර කරන ලදී. 2012 පෙබරවාරි 12 දා නිවේදනයක් කළ නීතිපතිතුමා හියුන් සහ ඔහුගේ කලින් බිරිය විකී ප්‍රයිස් යන දෙදෙනාටම විරුද්ධව “නීතිය නොමඟ යැවීමට කටයුතු කිරීමේ” චෝදනාව මත නඩු පවරන බව හෙළිකළේය. වහා ක්‍රියාත්මක වූ හියුන් තම ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූයේය. මහත්තයාට කපන්න ගිය වළේ නෝනාද වැටිණ.

උසාවිය හමුවේ තමා නිවැරැදි කාරියකැයි ඇය පවසා සිටියේ අඹුසැමි සබඳතාවන් මත ස්වාමිපුරුෂයාගේ පෙලඹවීම නිසා කළේ යැයි එංගලන්තයේ ඇති නීති පූර්වාදර්ශයක් උපයෝගී කරගනිමිනි. එහෙත් ජූරිය එය පිළිගත්තේ නැත. කාන්තාවන් හතක් සහ පිරිමින් පහක් සිටි ජූරියකින් තීන්දුවක් නොමැතිවීම හෙයින් පිරිමින් හතක් සහ කාන්තාවන් පහක් වූ නැවත නඩු විභාගයක දී ඇය ජූරියේ ඒකමතික තීරණය අනුව වරදකාරිය වූවාය. මේ අතර තමා නිවැරදි කරු යැයි එකහෙළා කියා සිටි හියුන්ද වරද පිළිගත්තේ තමා හිරේ යන්නට ඉඩකඩ ඒ හැටි නැතැයි සිතාගනිමිනි.

සදර්න් කවුන්ට්කෝට්ස් හි පැවැති දඬුවම් දීම් විභාගයේදී ඔවුන් දෙදෙනාම මාස අට බැගින් සිරගෙට නියම කරන ලදී. බ්‍රිතාන්‍යයේ බැබළුන ඇමැතිවරයකුව සිටි ක්‍රිස් හියුන් වොන්ඩ්ස්වර්ත් හිරගෙදර ද, එංගලන්ත ආණ්ඩුවට ආර්ථික උපදේශ දුන් විකී ප්‍රයිස් හොලොවේ සිර ගෙදර ද සිරබත් කමින් සිටිති. මෙයට කලින් මේ ලෙසම නීතිය නොමඟ යැවීමට උත්සාහ කළ ඇමැතිවරුන් වූ ජොනතන් ඇට්කින්ස් ද, ශ්‍රීමත් ජෙෆ්රි ආචර් ද දීර්ග සිර දඬුවම් ලැබූවන් වන්නේය. තවද මහජන මුදල් වංචා සහගත ලෙස ප්‍රයෝජනයට ගත් මන්ත්‍රීන් ගණනාවක් ද හිෙර්ය.

කෙසේ වෙතත් වෛරයට පෙරලුන ආදරය තරම් නරකාදියක් මිහිපිට නොමැත යන්න සනාත කළ මේ බිඳුණු ආදර අන්දරය, අඹුසැමි සබඳතාවයේදී කෙරෙන රහස් ගනුදෙනු පිළිබඳව ඉතා විමසිලිමත් විය යුතුය යන්න ලොවටම කියාපාන්නක් වන්නේය.

Courtesy of සිළුමිණ: විශේෂාංග


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction