sri express

ඇමීබාවාගේ පටන් මනුෂ්‍යා දක්‌වා ආ සත්ව පරිණාමයේ මිනිසුන් අතර මෙන්ම සත්ත්වයන් අතරද නායකයෝ වෙති. ගෝත්‍ර, ජාති, දේශ ආදී වශයෙන් මිනිසා බෙදුන ද ඒ හැම බෙදුමකටම මිනිස්‌ නායකයකු සිටියි.

මොන ආකාරයෙන් මැන බැලුවත් නායකත්වය හැම විටම ලැබෙන්නේ සුදුස්‌සාටදැයි ප්‍රශ්නයකි. ඇතැම් විටෙක බලහත්කාරයෙන් හෝ වෙනත් දූෂණයකින් වුවද එය ලබා ගැනීමට පුළුවන් නිසාය. සත්ව ලෝකයේ නම් නායකත්වය ලැබෙන්නේ ශක්‌තිමත් සතාටය. ආදි කාලයේ මනුෂ්‍ය ගෝත්‍රවල නායකත්වය ලැබුණේ ද ශක්‌තිමත් මිනිසාටය. නැතහොත් ගැහැනියටය. රජ පරම්පරාවල ආරම්භය සිදුවන්නට ඇත්තේ ද හැඩි දැඩි සිරුරක්‌ ඇති, තම වර්ගයාට එරෙහිව එන සතුරා සමඟ සටන් කොට ඔහු බිම හෙළිය හැකි මිනිසකු වටා රොක්‌ වූ අය ඔහු නායක තනතුරේ තැබීමේ හේතුවෙන් යෑයි සිතිය හැකිය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දුර්වලයන්ට එයට එකඟ වන්නට සිදුවන්නට ඇත. අද ගමේ චණ්‌ඩියා නායකයා නොවූවත් වක්‍රාකාරයෙන් ගම පාලනය කරයි. පිට ගමකින් ඇවිත් චණ්‌ඩිපාට්‌ දැමීම වළක්‌වන්නේ මේ කිරුළු නොපලන් ගමේ චණ්‌ඩියා ය.

මේ ආකාරයෙන් ගම් මට්‌ටමෙන් ඉතා කුඩාවට පටන් ගත් නායකත්වය රටවල් පාලනය කිරීම දක්‌වා වැඩි දියුණු වූ පසු ඇඟපත හයිය තිබුණත් රටක්‌ රාජ්‍යයක්‌ දිනවීමට එය ප්‍රමාණවත් නොවන බවත්, මොළය ද මඳක්‌ හෝ තිබිය යුතු බවත් කල් යැමේදී නායකයන්ට වැටහිණ. ඒ අනුව ඔවුහු රට, ලෝකය සහ වෙනත් ක්‍ෂේත්‍ර ගැන අනුමැති අනුශාසකවරුන් උපදේශකයන්, පුරෝහිත ඇමැතිවරුන් ද පත් කර ගත්හ. තම තමන්ගේ රටවල්වල නායකත්වයෙන් පමණක්‌ නොනැවතී අවට ලෝකයේ රටවල් පාලනය කරන්නට ද ඒ රටවල ධනය සූරා කන්නට ද ආසාවක්‌ ඇතැම් බලවත් රටවල නායකයනට ඇති වූවා වියහැකිය. යටත් විජිතවාදය බිහිවන්නට ඇත්තේ ඒ අනුවය.

දැනට අවුරුදු සිය ගණනකට පෙර ලෝකය පුරා වෙළෙදාමේ ගිය පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් ස්‌පාඥ්ඥකාරයන් කළේ එයයි. රටවල් කොල්ලකා ධනය තම රටට ඇදගන්නා අතර අධිරාජ්‍යයන් ගොඩනඟා ගන්නට සමහරු කටයුතු කළහ. යටත් කරගත් රටවල රජවරුන්ද, නායකයන් ද ජනතාව ද මර්දනය කොට ඝාතනය කොට චණ්‌ඩිකමෙන් තමන්ට රිසි පරිදි ඒ ඒ රටවල් පාලනය කරන්නට ද වූහ . ආගමද, භාෂාවන් ද, සංස්‌කෘතිය ද අල්ලාගත් රටවල පැතිර වූහ. චණ්‌ඩිකමින් මිස කිසි දිනෙක රටක්‌ රාජ්‍යයක්‌ සාමකාමීව යටත් කරගෙන නැත.

එදා මෙන් නොව අද ලොව විනයක්‌ ඇත. චාරයක්‌ ඇත. ඒ විනය සොයා බැලීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සිටියි. එක්‌ රටක්‌ තවත් රටක්‌ යටකර ගැනීමේ අවකාශය අද විරලය. කලකට ඉහත ඉරාකය, කුවේටය ආක්‍රමණය කළ අවස්‌ථාවේ ඉරාකය පන්නා දමා කුවේටය යථා තත්ත්වයට පත් කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයයි. එමෙන්ම රුවන්ඩා, බුරුන්ඩි, බොස්‌නියා, සර්බියා ආදී රටවල ජනතාව නිකරුණේ මරා දැමූ නායකයන් ද යුද ප්‍රධානීන් ද අධිකරණය හමුවට පමුණුවා දඬුවම් දීමේ ක්‍රියාවලිය දියත් කළේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයයි. එහෙත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නීති රීතිවලට පටහැනිව එහි නායකත්වය අභිබවා යන්නට ලෝකයේ රටවල් කීපයක්‌ අත්වැල් බැඳ ගෙන සිටිති.

එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව නොවූවද ඉරාකය ආක්‍රමණය කොට එහි නායකයා අත්අඩංගුවට ගන්නට බලවත් රටවලට හැකියාව තිබිණි. ලෝකයේ නොම්බර එකේ ත්‍රස්‌තවාදී රාජ්‍යය යෑයි නම් කොට ඇෆ්ගනිස්‌ථානයේ තලේබාන් රාජ්‍යය පලවා හැර එහි අරක්‌ ගන්නට ක්‍රියා කොට ඇත. එම රටවල ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය එක්‌ව කෙරෙන යුදමය ක්‍රියාදාමයන් හේතුවෙන් සිය ගණන් අහිංසක ජනයා මරුමුවට පත්ව ඇති අතර බොහෝ දෙනා හට උන්හිටි තැන් පවා අහිමි වී ගිය අයුරු අපි දුටිමු. මේ වසර සිය ගණනකට පෙර ලෝකයා අත්දුටු බලවතාගේ චණ්‌ඩිකමයි.

එසේම මේ අවස්‌ථාවේ ලිබියාවට එක්‌සත් ජාතීන්ගේ අවසරය ඇතිව පහර පිට පහර වැදෙමින් තිබේ. ටි්‍රපොලි නගරයට නොකඩවා බෝම්බ පතිත වෙයි. අහිංසකයන් සිය ගණන් මිය ඇදෙති. ඒ ගැන කතා කළාට වැඩක්‌ නැත.

ශ්‍රී ලංකාව තමන්ගේ කුඩා රට තුළ වූ කැරැල්ල මැඬ පැවැත්වීමට ගත් යුදමය ක්‍රියාදාමය යුද අපරාධ ලෙස හංවඩු ගසා උඩ පනිමින් තම හෙළුව ලොවටම ප්‍රදර්ශනය කරන එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල් ඉරාකය, ඇෆ්ගනිස්‌ථානය, පකිස්‌ථානය වැනි රටවල කෙරෙන නියම යුද අපරාධ පිළිබඳව කතා කරන්නේ නැත්තේ ඇයි?

නියම යුද අපරාධවලින් දෙකක්‌ පමණක්‌ මා මෙහි සඳහන් කරමි. පළමුවැන්න නම් කුවේටය ආක්‍රමණය කළ ඉරාක හමුදාවන් එක්‌සත් ජාතීන්ගේ ප්‍රහාරයනට මුහුණදීමට නොහැකිව පසුබැස නැවත ඉරාකය බලා යැමට ඉරාකයත් කුවේටයත් අතර ඇති බැස්‌ටා නමැති ඉරාක නගරයට යැමට එම පාර දිගේ ගමන් ගන්නා අවස්‌ථාවේ එසේ පසුබැස යන හමුදාවනට පහර දී බෝම්බ දමා සමූල ඝාතනයක්‌ කළෝ කවුද? ඉරාක හමුදාව කුවේටය ආක්‍රමණය කළ ක්‍රියාව අපි කෙසේත් අනුමත නොකරමු. එහෙත් පසුබැස ගම් බලා ගමන් ගන්නා එම හමුදාව සමූල ඝාතනයට වැරදිකරුවෝ යුද අපරාධකරුවෝ නොවෙත්ද? එක්‌සත් ජාතීන් මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක්‌ නොගත්තේ ඇයි?

දෙවැනි කරුණ ඇමරිකාවට අවශ්‍ය අංක එකේ ත්‍රස්‌තවාදියා වූ අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනයයි. පකිස්‌තානයේ ස්‌වාධීන ස්‌වෛරීභාවයට තර්ජනය කොට එම රටට වීසාවත් නොමැතිව බලෙන් ඇතුළු වී නිරායුධ ව සිටි බින් ලාඩන් මරා දැම්මේ කවුද? බින් ලාඩන්ට අපගේ කිසිම සමාවක්‌ නැත. ප්‍රභාකරන් සහ බින් ලාඩන් අතර ඇත්තේ නම් දෙකේ වෙනස පමණ යෑයි සිතමි. ප්‍රභාකරන් මරණයට පත් වූයේ ශ්‍රී ලංකා හමුදාව හා සටන් කරමින් සිටියදී ය. එහෙන් බින් ලාඩන් වෙඩි කෑවේ රෑ නිදියහනේ සරම පිටින් සිටියදීය. මේ අවනඩු යුද අපරාධ නොවන්නේ ද?

තමන්ගේ ධනය, හමුදා බලය, චණ්‌ඩිකම සමඟ මිශ්‍ර කොට එක්‌සත් ජාතීන්ගේ අවසරය ඇතිව හෝ නැතිව කටයුතු කරන ඇමරිකාව ප්‍රධාන ඔවුන්ගේ මිත්‍ර රටවලත් දැනට අවුරුදු සිය ගණනකට පෙර ලෝකයේ පුංචි රටවල් කොල්ල කෑ එකල බලවත් රටවල් අතරත් වෙනසක්‌ අපට නොපෙනේ. එදා වෙළෙඳ වාසිය අදත් වෙළෙඳ වාසියමද?

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලොවටම ඇති එකම දේවාලයයි. රට රටවල ආතුරයන්ගේ දුක්‌ අඳෝනා, අතුරු ආන්තරාවලට භාර හාර, යාතිකා, සෙත්කවි, වස්‌කවි, පළිගැසීම් සිදුවන්නේ එතැනයි. එහි මහ කපුවා අමෙරිකාවය. ඉතින් කපු මහත්තයා දේවාලෙ කැත කළාට කවුරුත් මුකුත් කියන්නේ නැත. කිව්වාට පලක්‌ වන්නේ ද නැත.?

Courtesy of සිළුමිණ: විශේෂාංග


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction