sri express

කැමරාව කරේ එල්ලගෙන යන්නෙ නැතිව කඩදාසි බෑගයක දාගෙන එහාට මෙහාට ගෙනියපු අය මම දන්නව. 

ඒ මගේ පුංචි කාලෙ හැටේ දශකයේ අත්දැකීමක්‌. මම හොඳට දන්න අඳුනන මගේ පියාණන්ගෙ මිතුරන් කීපදෙනෙක්‌ එහෙම හිටිය. පින්තූර ගන්න කොච්චර ආස වුණත් ඒ දවස්‌වල ආම්පන්නවල මිල ගණන් නිසා සාමාන්‍ය ජනතාවගෙන්a හුඟ දෙනකුට ඒ ආශාව ඉටු කරගන්න පුළුවන්කමක්‌ තිබුණේ නෑ.

අපි පොඩි කාලෙ කැමරාවට දාන පටල පටියට තිබුණෙ පින්තූර දොළහයි. ඒකත් අට, දහස හෝ දොළහ, කැමරාවෙ හැටියට, ඒත් දැන් තාක්‍ෂණය දියුණුයි. දැන් කිසිම කරදරයක්‌ නැතුව පින්තූර ගන්න පුළුවන් මිලිමීටර් 35 කැමරා තියෙනවා. ඒ වගේම ඩිජිටල් තාක්‍ෂණයත් බිහි වෙලා. අද ඩිජිටල් කැමරාවෙන් පින්තූර පන්සීයක්‌ අරගෙන තෝර ගන්න පින්තූරේ ගන්න පහසුයි.

මොනව වුණත් මේ පින්තූර ගන්න පුද්ගලයා හැඳින්වුණෙ කැමරාකාරය කියල. ඡායාරූප ශිල්පියා, ප්‍රභා ලේඛකයා ආදී සැනසිලි නම්වලිනුත් ඉඳල හිටල හැඳින්වුණා. සමහර කැමරා කාරයො එක්‌ එක්‌ අංශවලින් විශිෂ්ටයන් බවට පත්වෙලාත් තියෙනවා.

ලංකාවෙ කාලෙකට ඉස්‌සර හිටිය එරික්‌ ස්‌වොන් කියල වනජීවී ඡායාරූප ගන්නට ඉමහත් දස්‌කමක්‌ දක්‌වපු ඡායාරූප ශිල්පියෙක්‌. ඔහු බොහෝ විට ජීවිතය පරදුවට තබල තමන්ගේ ශිල්පය ප්‍රගුණ කළ අයෙක්‌. දිනක්‌ වල් අලියකුගෙ ඡායාරූපයක්‌ ගැනීමට ගොස්‌ ඔහුට අත් වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව මපියාණන් (විල්සන් හෑගොඩ) විසින් ලියන ලද කවි පන්තියකින් කවි දෙකක්‌ සඳහන් කරන්නත් හිතුන.

බිහිසුණු වන රජා දිව ආ වියරු වැදී පටලා උගේ දිගු සොඬවැල සිරුර බැඳී විදුලිය පරිද්දෙන් අවසරයකුදු නොදී ඔසවා කලාකරුවා බිම ගසන ලදී

පොඩි අවදියේ සිට කැමරා කටුව බදා ජීවිතයේ වැඩි හරියක්‌ එයට පුදා වැජඹුණු එරික්‌ගේ අන්තිම සිහින එදා මැකුණා වනේ සිටියදි ලේ ගොඩක නිදා

පින්තූර ගන්න ගිහිල්ලා ජීවිතේ පූජා කරපු කොච්චර දෙනෙක්‌ ලෝකයේ ඉන්න ඇද්ද? පින්තූර ගත්තට පස්‌සෙ වුණත් ජීවිතේ අහිමි කරගන්න අය ගැන ලංකාවෙනුත් අහල තියෙනවානෙ. හුඟක්‌ වෙලාවට දේශපාලකයො එක්‌ක වැඩ කරන ඡායාරූප ශිල්පීන් සීමා පැනල දිවි පරදුවට තබා සේවය කරන්න ගියහම ඇත්තටම දිවි අහිමි වෙන්න ඉඩකඩ තියෙනව කියල මට හිතෙනව. කලකදි රහ කලකදි වන වෙන්න ඉඩ තියෙනවනෙ. එංගලන්තෙත් එහෙම කතාවක්‌ ඇතිවේගෙන යනව.

මෙච්චර කල් රජ පවුලට එපා නොවෙච්ච කැමරා කාරයන් දැන් එපා වේගෙන යන තැනට ඇවිල්ල තියෙන්නෙ. මහ රැජින උපන්න දවසෙ ඉඳන් මොනතරම් බිලියන ගණනක්‌ පින්තූර ගන්න ඇද්ද? ගත්ත හුඟ දෙනෙක්‌ අද ජීවතුන් අතර ඇත්තෙත් නැතුව ඇති. අවුරුදු අසූ තුනක්‌ තිස්‌සෙ ඒ මම අර කලින් සඳහන් කළ නොයෙක්‌ ආකාරයෙ කැමරාවලින් පටල පටි වලින්. ඒත් දැන් රජ පවුලෙ පුද්ගලික ජීවිතයේ අවස්‌ථා ඡායාරූප ශිල්පීන්ට අහිමි වෙන්නයි යන්නෙ. තිත වැටෙන්නයි යන්නෙ.

Paprazzi පැපරාසි කියල ඉංගී්‍රසියෙන් කියන Pappe - rasto නමැති ඉතාලි වචනය 1959 ඉතාලි චිත්‍රපටයක චරිතයක වාසගමයි. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රසවත් ඡායාරූප ගැනීමට වෙහෙසෙන ඡායාරූප ශිල්පීන් මේ නමින් හැඳින්වෙනව. එංගලන්තයේ රජ පවුල වටා රොක්‌වුණු මෙවැන්නන් නිසා එම පවුලේ එදිනෙදා ජීවිතය ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව ඇති නිසා එය සාමාන්‍ය දිවි පෙවෙතකට හරවා ගැනීමට ඔවුන් දැන් උත්හාස දරනවා. ඩයනා කුමරිය වුණත් මරණයට පත් වුණේ ඇයත් ඇයගේ පෙම්වතා ඩොඩිත් හඹාගිය පැපරාසින් නිසා බව සඳහන් වුණානේ.

කොහොම වුණත් දැන් මහ රැජිනට පැපරාසින් තිත්ත වී ඇති බව ඇය විසින් ඇයගේ නීතිඥවරයාට දෙන ලද උපදෙස්‌වලින් පෙනී යනව. උපදෙස්‌ තමයි රජ මාළිගයේ හෝ එයට අයිති කිසිම භූමි භාගයක ඇතුළත පින්තූර ගැනීමට නොහැකිවන ආකාරයේ තහංචි ගෙන ආ යුතු බව.

රජ පවුලට අයත් භූමියට ඇතුළු නොවී ප්‍රසිද්ධ පාරක හෝ වෙනත් ඉඩමක සිට මාළිගයේ හෝ එම භූමියේ සිදුවන දේ ඡායාරූපයට නැඟීමට මෙතෙක්‌ ඉඩදී තිබුණා.

හඳේ පින්තූර ගන්න තරම් දුර බලන්න පුළුවන් කැමරා මේ වැඩේට කදිමයි..

ඒ වගේ පින්තූරවලට ඉතා අධික වටිනාකමක්‌ ලැබෙනව. සමහර විට ලංකාවෙ මුදලින් ලක්‍ෂ සීය දෙසීය ලැබුණු අවස්‌ථා තියෙනව. අවම වශයෙන් ලක්‍ෂ දහයක්‌ පහළොවක්‌ ලැබෙනව. මෙයින් ප්‍රධානම එකක්‌ තමයි වෙඩි වැදී තුවාල වුණු කුරුල්ලෙකුගෙ බෙල්ල කරකවන රැජිනගේ පින්තූරෙ. ඇන්ඩ්‍රD කුමාරයා එයාගෙ දඩයම් බල්ලන්ට සැරයටියකින් පහර දෙන ආකාරයත් අනතුරට ලක්‌වූ ඩයනා කුමාරියගෙ අවසන් අවස්‌ථා දැක්‌වෙන ඡායාරූපත් ප්‍රධාන තැනක්‌ ගන්නව. ඇන්ඩ්‍රD කමාරයගෙ බලු පින්තූරෙ පළ වුණාම එංගලන්තෙ ලොකු හාහෝවක්‌ ඇති වුණා සත්ත්ව අවිහිංසාව පිළිබඳව. ඩයනා කුමාරිගෙ අවසාන පින්තූර නං එංගලන්තයේ කිසිම පත්තරේක පළ කළේ නැත. ගෞරවනීය පුවත්පත් කලාවක්‌ වෙනුවෙන්. එහෙත් ඩයනා කුමරිය මුහුද මැද නැවක සිට අව්ව තපින පින්තූරත් නාන පින්තූරත් ප්‍රසිද්ධියට පත් වුණා. එක පින්තූරයක්‌ ගැනීමට පැය ගණනක්‌ එකම ඉරියව්වකින් ඉන්න තරම් ඉවසීමක්‌ මේ පැපරාසීන්ට තියෙනව. ඇන්ඩ්‍රD කුමාරයාගෙ දික්‌කසාද භාර්යාව සාරා කුමරිය ඔහුව අතහැර සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු සමග සම්බන්ධකම් පවත්වන කාලයේ ඔවුන් දෙදෙනා නතර වී සිටි හෝටලය යාබද කැලෑවේ පැය විසිතුනක්‌ සැඟවී මුනින්තලාව සිට ගත් ඡායාරූපයකට පවුම් ලක්‍ෂයකට වඩා මුදලක්‌ ලැබුණු බව ආරංචි වුණා. ලංකාවෙ මුදලින් ලක්‍ෂ දෙසීයක්‌ විතර. ඒ ඡායාරූපය තමයි අර ව්‍යාපාරිකයා පිහිනුම් තටාකය අසල හිඳින විට සාරා කුමරිය ඔහුගේ කකුලේ ඇඟිලි කටේ දමාගෙන සිටින ආකාරය..... පව්නෙ.

ඉතින් රජ පවුලේ එවැනි ඡායාරූප මින් ඉදිරියට අපට දැක ගැනීමට වාසනාවක්‌ හෝ අවාසනාවක්‌ නැතිවේවි. මෙය මෙසේ වීමට විශේෂ කරුණක්‌ ලෙස විචාරකයෝ දකින්නෙ විලියම් කුමාරයා සහ ඔහුගේ පෙම්වතිය වන කේට්‌ මෙනවියගේ විවාහ ගිවිස ගැනීමක්‌ ප්‍රකාශයට පත් කිරීම ආසන්න ක්‍රියාවලියේ පූර්ව ක්‍රියාවක්‌ ලෙසට. අඩු තරමින් මේ ජෝඩුවටවත් තමන්ගෙ පාඩුවේ ගෙදර දොර ජීවත් වන්නට නීති රීති ගෙන ඒමේ වුවමනාවක්‌ මහ රැජිනට ඇති.

ලංකාවට නං මෙහෙම නීතිරීති ඕනෙ නෑ කියලයි හිතෙන්නේ. දේශපාලනඥයන්ට ඕන්නම් අනුන්ගෙ ගිණුම්වලට තමන්ගෙ මාළිගා දාන්නත් පුළුවන්. අනිත් එක ජීවිතේට ආදරේ අය ඒ වගේ පින්තූර ගන්න යන්නෙත් නෑ.

මාළිගාවල වගේම මාළිගා ඇතුළෙ වෙන දේවල් ගැන අහවල් එකට හොයනවද කියලත් වෙලාවකට හිතෙනව. ඒත් පැපරාසියෝ නම් ඕන දේකට ඔට්‌ටුයි.


Courtesy of Divaina News Paper


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction