අගය කළ යුතු චරිත - සිංහල සිනමා ගී අම්ඹරය නිම්නාද නැංවූ ලයාන්විත හඬ

අන්තර් ජාලය

හැටේ දශකයේ අඟ භාගයේ සිට හැත්තෑවේ දශකය පසුකොට අසූව දශකයේ මැඳ භාගය දක්වාවූ කාල පරිච්ඡේදය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය යැයි මා සඳහන් කළොත් ඔබ සැම මා සමඟ එකඟ වනු ඇත. මසකට නවතම චිත්‍රපට දෙකක් හෝ තුනක් පිටවූ ඒ කාලයේ සිනමා කර්මාන්තය නිසා ජනප්‍රියවූ සහ දියුණු වූ පිරිස් නම් බොහෝය. එමෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරුද හොඳින් ආදයම් ඉපැයූ හෙයින් තව තව නිෂ්පාදකවරුන්ද කිසිදු බියක් සැකයක් නොමැතිව චිත්‍රපට නිපදවීමට තම මුදල් යෙදවූහ. 

සිනමාව වටා බොහෝ රැකියා අවස්ථා ඇතිවූ අතර ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරු, නළු නිළියන්, වේශ නිරෑපන ශිල්පීන්, කැමරා ශිල්පීන්, සංගීත අධ්‍යක්ෂකවරුන් හා ගායක ගායිකාවන් ශේස්ත්‍රයට සහ රටට බිහිවිය. කථානාද සිනමාවේ ප්‍රගමනයත් සමඟම සිනමා සංගීතයට සහ පසුබිම් ගායනයට සිනමාව තුළ ලැබුණේ අතිමහත් ඉහළ ස්ථානයකි. 

මේ කාලයේ බොහෝ ගීත , හින්දි තනුවලට සිංහල වචන දමා ගායනාවූ අතර ගයන ගායකයාගේ හෝ ගායිකාවගේ හඬ රඟන නළුවාට හෝ නිළියට ගැළපුණේ ඉතාම කලාතුරකිනි. විශේෂයෙන්ම සිංහල හඬ කැවූ හින්දි චිත්‍රපටවල මේ ලක්ෂණ බෙහෙවින් තිබිණි. මේ හේතුව නිසා ගීත ගයමින් රඟන අවස්ථාවල කිසිදු තාත්වික ගතියක් නොවුණි. එහෙත් කඩවුණු පොරොන්දුවෙන් ඇරඹුණු ස්වතන්ත්‍ර සිංහල සිනමාවට ලැබුණු අමිල මාණික්‍යයක් බඳුවූ රුක්මණී දේවිය රඟ පෑමට මෙන්ම පසුබිම් ගායනයටද එකසේම සමත්කම් පෑම ගිනිගත් කතරකට වට අමා වැස්සක් බඳු විය. ඇයට පෙර වුන් ජී එස් බී රානි හා ජික්කී වැනි ගායිකාවන් අභිබවා යාමට රුක්මනියගේ ගායනය සමත් වුණි. ඒ අතරම ලතා වල්පොල , නන්දා මාලිනී, ඉන්ද්‍රානි විජේබංඩර හා සුජාතා අත්තනායක යන අමරණීය ගායිකාවන්ගෙන් සිංහල සිනමා ගීත කෙත ඉතා සරුසාරව අස්වැද්දුණු බවද නොකියාම බැරිය. 

මේ කාලයේ සිනමාවට අති දක්ෂ සහ ඉතා පියකරු නිලියන්ද කිහිප පොලක්ම එක්වූහ. ජීවරානි කුරුකුලසූරිය, පුණ්‍යා හීන්දෙණිය, සුවිනීතා කෝන්ගහගේ, අනුලා කරුණාතිලක, ශ්‍රියානි අමරසිංහ, මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, සෝනියා දිසා , අනෝජා වීරසිංහ සහ ඊට පසුව පැමිණි නදීකා ගුණසේකර , සබීතා පෙරේරා ඉන් මුල් තැනක් ගත් අතර රුක්මණී දේවිය, ලතා වල්පොල හා සුජාතා අත්තනායක යන ගායිකාවන්ගේ හඬවල් මේ හැම නිළියටම නොගැලපුණි. ඒ අඩුව පිරිමසමින් ඒ හැම නිලියකටම ගැලපෙන කට හඬක් උපතින්ම දායාද කරගත් ගීත කෝකිලාවක සිංහල සිනමා අම්ඹරයට පායා ආවේ මේ සමයේදීය. ඇය මාලනියට පසුබිම් ගායනය කරන විට ඒ හඬ මාලණියගේමසේද ගීතා කුමාරසිංහට පසුබිම් ගායනය කරනවිට එය ගීතාගේම හඬසේද අපට ඇසුණි. දැනුණි. ඒ කෝකිලාවිය අන් කවරකු හෝ නොව අද දින ගතින් යම්තරමකට වියපත් වුවද , ඇයගේ මධුර මනෝහර හඬින් කිසිදා වියපත් නොවන , නිළියන් සැමටම ගැලපෙන කට හඬේ උරුමකාරිය , ඇන්ජලීන් ගුණතිලක නම්වූ ඒ ආදරණීය ගායන ශිල්පිනියම හැර වෙන නම් කවුරුන්ද?

දක්ෂිණ ලංකාවේ මාතර පල්ලියමුල්ල නම්වූ සුන්දර ගම්මානයේ දරුවන් දහ දෙනෙකුගෙන් යුතු පවුලක හත්වැනියා ලෙස ජන්ම ලාභය ලැබූ මේ පිංවත් කුමරිය ඇන්ජලින් ද ලැනරෝල් නම් වූවාය. බාල වියේ පටන්ම සංගීතයට හා ගීත ගායනයට ඇලුම් කළ ඈ එකල ගුවන් විඳුලියේ ප්‍රචාරය වූ සෑම ගීතයකටම පාහේ සවන් දුන්නේ උමතුවෙන් මෙනි. එකල වෑරලස් නමින් හැඳින්වූ බැටරි වලින් ක්‍රියා කළ රේඩියෝව අසල වාඩිවී ඇය දවසෙ වැඩි හරියක් ගත කළාය. ඇයගේ පියා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියාමකයකු වශයෙන් සේවය කළ අතර ඔහු සේවය සඳහා වැඩිපුර සිටියේ නිවසින් පිටය. ඉතා කාර්‍යශූර දිරිය කතක් වූ ඇගේ මව දරුවන් දහදෙනෙකුගේ බර තනිවම කරට ගෙන ඔවුන් සියලු දෙනාටම උගන්වා යහමග යැවීමට කටයුතු කළාය. ඇන්ජලින් ළඳැරිය මූලික අධ්‍යාපනය ලැබුවේ මාතර ශාන්ත මරියතුමියගේ කන්‍යාරාමයේය. 

මේ අතරේදී , කුඩා ඇන්ජලින්ගේ පියාට කොළඹට මාරුවක් ලැබී ඔවුන් සියල්ලටම කොළඹට පැමිණීමට සිදුවීම ඇගේ ජීවිතයේ වටිනාම හැරවුම් ලක්ෂය වනු ඇතැයි එදා ඇයවත් නොසිතන්නට ඇත. ඔවුන් කෝට්ටේ මාදිවෙල නිවසක් කුලියට ගෙන එහි පදිංචි වූහ. අපගේ කතා නායිකාවව කොළඹ ශාන්ත තෝමස් මිශ්‍ර පාසලට ඇතුළත් කෙරිණි. කොළඹ පැමිණි පසුත් ඇයගේ ගුවන් විදුලියේ ගීතවලට සවන්දීමේ හා ගීත ගැයීමේ පිස්සුව අඩුවූයේ නැත. සිදුවූයේ තවත් වැඩිවීම පමණි. 

ඇය පාසලේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. පාසලේ, පනීබාත සූරීන් මෙහෙයවූ නැටුම් පංතියක් තිබිණි. ඇය එයට බැඳී කතකලි, උඩරට සහ පහතරට යන සියලුම නැටුම් ඉතා හොඳින් ප්‍රගුණ කළාය. ඒ අතර පාසලේ විවිධප්‍රසංගයන්හීදී නැටුම්ද ඉදිරිපත් කළාය. 

ඇයගේ මහප්පා කෙනෙකු විසින් වැඩිදුර ඉගෙනුම සඳහා හේවුඩ් ආයතනයට යාමට ඇයව උනන්දු කළේද මේ සමයේමය. හේවුඩ් යාමට පෙර සිටම ඇය සුනිල් සාන්තයන් යටතේ ගීත ගායනය පුහුණු වීම අරඹා තිබිණි. ඒ සඳහා ඇයව යොමුකොට තිබුණේ ඇයගේ වැඩිමහලු සොයුරියක වූ රෝසා අක්කායි. ඒ අතර කෝට්ටෙ පල්ලිය අසල තිබූ පංතියකට ගොස් ඇය පියාණෝ වාධනයද ප්‍රගුණ කළාය. ඒ අතර පල්ලියේ විවිධ ප්‍රසංගයන්හී ඇය පිරිමි ළමයින්සේ රංගණයේද නිරත වූවාය. ගායනය හා වාදනය ඉගෙන ගත්තද පාසලේදී නම් ඇය ගායිකාවක ලෙස ඉදිරිපත් වී තිබුණේ නැත. 

නමුත් ඇයට වයස අවුරුදු 11-12 කාලයේදී ගුවන් විදුලියේ කරු අය්යා( කරුණාරත්න අබේසේකර) ගේ ළමා පිටියට යාම ඇයගේ සංගීත දිවියේ ශක්තිමත්ම අඩිතාලම විය. ළමා පිටියේ ගීත ගායනා කොට ඇන්ජලින් ද ලැනරෝල් නමින් රටේ යම් ප්‍රසිද්ධියක් අත්පත් කර ගැනීමට ඒ දිනවලම ඇය සමත් වූවාය. ඇය ළමා පිටියේ ගැයූ මුල්ම ගීතය වූයේ ඩී ඩී ඩැනී සංගීතවේදියා තනු නිර්මාණය කළ " තාම අත්තටු සීතලයි කවුදෝ අනේ මේ දේ කළේ" නම්වූ ගීතයයි. එය යමුනා රානී නම්වූ ගායිකාව ගැයූ ගීතයකි. ඇය වෙන ගායිකාවකගේ ගීතයක් ගැයූ අවසාන අවස්ථාව එය විය. 

මෙසේ ගුවන්විදුලියට යන එන අතරේ එවකට ගුවන් විදුලියේ ප්‍රවීණයකු වූ පී එල් ඒ සෝමපාලයන් හමුවීම ඇයගේ දිවිය වෙනම අතකට යොමුකළ දෛවෝපගත සිදුවීමක් විය. එතුමා ඇයගේ ගායනය ගැන පැහැදී චිත්‍රපට පසුබිම් ගායනාවන්හී පොඩි පොඩි කොටස් ඇය ලවා කියැවුවේය. 

" දෙයියන්ගෙ රටේ" චිත්‍රපටයට ඇය මුලින්ම ගැයූවේ විරිදුවකි. මේ කාලයේ ඇය , ඒ වනවිට ජනප්‍රිය ගායකයෙකුව සිටි මොරිස් දහනායක සමඟ යුඟ ගී ගැයීමෙන් තවත් ජනතාව අතර ජනප්‍රියතාවයට පත්වීමට සමත් වූවාය. ගුවන්විදුලියේ වෙළඳ සේවයේ සරල ගී ගායිකාවක වශයෙන් මේ කාලයේ ඇය නමක් දිනාගෙන තිබිණි. 

එතුමිය සරල ගී පරික්ෂණයෙන්ද සමත් වූයේ මේ වකවානුවේදීය. පී එල් ඒ සෝමපාලයන්ගේ මග පෙන්වීම යටතේ ගුවන් විදුලියේ ගී තැටි සඳහාද අවස්ථාව එතුමිය උදා කර ගත්තාය. " දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය" ගීතය බෙග් මාස්ටර් සමඟද ජනතාව අතර ඉතා උග්‍රව ජනප්‍රිය වූ " හායි හූයි බබී ආච්චී" ගීතය වොලී බැස්ටියන් සමඟද සහ සාදයකදී එදත් අදත් කවදත් ජනතාවගේ තුඩ තුඩ රැව්දෙන " දොම්පේ ආයා" ගීතය මුලින්ම ගැයුවේද එතුමියමය. 

අපගේ කතා නායිකාව , මුලින්ම ගැයූ සිනමා පසුබිම් ගායනය , එවකට ඉතා ජනප්‍රිය ගායකයෙකු වූ සිඩ්නි ආටිගල සමඟ ගැයූ අතර ඉන්පසුව තවත් අමරණීය චිත්‍රපට ගීයක් වූ " සුළං කුරුල්ලෝ" ගීතය හරූන් ලන්ත්‍රා සමඟ ගැයීමට වරම් ලැබුවාය. 

සුප්‍රසිද්ධ වාහන අලෙවිකරුවකු වූ ලෙස්ලි ගුණතිලක මහතා සමඟ විවාහයෙන් පසුව ඇන්ජලින් ගණතිලක වූ ඇය සිනමාවට නැතිවම බැරි පසුබිම් ගායිකාව වූවාය. 

එකල සිනමාවේ සෑම නළුවකුටම ගැලපෙන හඬක් උරුමකරගත් එච් ආර් ජෝතිපාලයන් සමඟ සිනමා පට උදෙසා ඉතා අධික ප්‍රමාණයක් යුඟ ගී එතුමිය ගැයූ අතර ඒවා චිත්‍රපටයටත් වඩා ජනප්‍රිය වී අමරණීය ගීත බවට පත්විය. " ජෝති - ඇන්ජි " යුගය තරම් අති සාර්ථක වූ සිනමා පසුබිම් ගායක යුඟලයක් එදා මෙදාතුර ඇතිනොවූ බව මගේ හැඟීමයි. එසේම එතුමිය මිල්ටන් මල්ලවආරච්චි, එම් එස් ප්‍රනාන්දු සහ ග්‍රේෂන් ආනන්ද යන ගායකයන් සමඟද සිනමා පට සඳහා යුඟ ගී ගායනා කළාය. 

චිත්‍රපට ගීත පමණක් නොව එතුමිය ගයන " පුංචි පුතා මගෙ ඉස්කෝලෙට ගිය මුල්ම දවස අද වේ" ගීතය අසා කඳුළු නොසැලූ අම්මා කෙනෙකු ඇතිදැයි සැක සහිතය. ඒ තරමට එතුමිය ඒ ගීත හැගීම්බරව සහ භාවාත්මකව ගැයූවාය . අදටත් ගයන්නීය. එතුමියට අදාළ සිනමා  රූප රාමුවට හෝ අදාළ නිළියට අනුව හඬේ ලතාව වෙනස් කර ගැනීමට ඇත්තේ අසීමිත හැකියාවකි. ෆරීනා ලායි වගේ නිළියක රාත්‍රී සමාජ ශාලාවක නටමින් ගයන ගීතයකට එතුමිය සුංගාරය සහ කාමුකබවින් පිරි ගැයුම් විලාසයක් අනුගමනය කළාය. පෙම්වතියක් සතුටින් හෝ දුකින් සිටින විට ඒ ගැයුම සතුට දනවන හෝ දුක දනවන ස්වරයෙන් යුක්ත විය. මවක මෙන් ගයන විට එතුමිය සැමගේම අම්මාම විය. 

වසර පනහකටත් වැඩි මිස අඩු නැති කාලයක් සිංහල සිනමා පසුබිම් ගායනයට හා සමස්තයක් ලෙස සංගීත කර්මාන්තයට එතූමිය කළ සේවය මිල කළ නොහැකිය. සම්මාන කිහිපයක් හැරුණු කොට එතුමිය පිළිබඳව නිසි ඇගැයීමක් සිදුවූවාදැයි සැක සහිතය. ඒ කිසිවක් නැතත් එතුමිය දිනා ගත් ජනතා සම්මානය නම් සැමදාම එකවිලසටම පවතිනු ඇත. මන්ද එතුමිය රසික ප්‍රජාවගේ හදෙහි ලැගුම්ගෙන හමාර හෙයිනි. 

දයාබර ගායිකාවනී , ආදරණීය අම්මේ , ඔබගේ නාමය සදා අමරණීය. ඔබට චිරං ජයතු! 

මෙතුමිය පිළිබඳව තොරතුරැ සොයා ගැනීමට තම උපරිම සහය මට ලබා දුන් සුදත් දේවප්‍රිය සොයුරාව ආදරයෙන් සිහිපත් කරමි. 

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction