Photos by Tissa Madawela

තොරතුරු ලබාගැනීමේ නිදහස යටතේ සපයා ගෙන ඇති සමීක්ෂණ වාර්තාවන්ට අනුව බ්‍රිතාන්‍යයේ අධ්‍යාපන ක්‍ෂේස්ත්‍රයේ ඉහලින්ම සිටින්නේ ශ්‍රී ලාංකික, චීන, ඉන්දියානු සහ නයිජීරියානු දරු දැරියන් බව ඊයේ පළවූ ප්‍රවෘත්ති වාර්තාවක සඳහන්වෙයි. පසුගිය වසරේ උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමෙන් මෙම වාර්තා සකස් කර තිබුණි.

මෙම ප්‍රතිඵල වලින් පෙනීගොස් ඇත්තේ උසස් පෙළ විභාගයේදී "ඒ ස්ටාර්" සිට "සී" දක්වා සමර්ථ පහ බැගින් ලබාගෙන ඇති ඉංග්‍රීසි ජාතික දරුදැරියන්ගේ සංඛ්‍යාව ජාතික සාමානකයට වඩා පහලවැටී ඇති බවයි.

අඩුම ලකුණු ලබාගෙන ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන්නේ පෘතුග්‍රීසි, පකිස්තාන, යෙමනි සහ කොන්ගෝ ජාතිකයන බවද එම වාර්තාවෙහි දැක්වෙයි.

පොදුවේ ගත්කල බ්‍රිතාන්‍යයේ ජීවත්වන සංක්‍රමණික දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාමත් ඉහල බවද එම සමීක්ෂණයෙන් පෙනීගොස් ඇත.

ලන්ඩන් නුවර පාසල් සලකා බැලීමේදී බොහෝ ගණනක තම මව් බස ඉංග්‍රීසි නොවන අයගේ ප්‍රතිසතය සියයට 80 පමණ වෙති. විවිධ භාෂාවන් 150කට වඩා කතාකරන සිසු සිසුවියන් එකට ඉගෙන ගන්නා ළදරු සහ ප්‍රාථමික පාසල් බොහෝ ගණනක් ඇති බවද එමගින් පෙන්වා දී ඇත.
ළදරු පසැල්වලසිටම ඉගෙනීමේ කටයුතු සිදුකෙරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිසා මෙම දරු දැරියන් සියලුදෙනාම ඉංග්‍රීසි භාෂාව ව්‍යක්තව හැසිරවීමේ හපන්කම ඉක්මනින්ම ග්‍රහණය කර ගැනීමට සමත්වෙති. මේ අය බොහෝවිට ගෙදරදී මව් භාෂාව භාවිත කිරීමටත් ගෙදරින් පිටතදී ඉංග්‍රීසි භාෂව භාවිතා කිරීමටත් හුරුවී සිටීමද සංක්‍රමණික දරු දැරියන් තුල දක්නට ලැබෙන තවත් විශේෂතත්වයකි.

බ්‍රිතාන්‍යයේ ජීවත්වන ආසියාතික දෙමව්පියන් වැඩි දෙනා සැබෑ ලෙසම එංගලන්තයට සංක්‍රමණය වීමේ මුඛ්‍ය පරමාර්ථය ලෙස සලකන්නේ තම දුවා දරුවනට ඒ රටේදී ලබාදිය හැකි උපරිම අධ්‍යාපනයක් ලබාදීමත් ඔවුන් තමනට වඩා දශමයක් හෝ උසස් සාර්ථක ජීවිතයක් ගතකරනු දැකීමත්ය. ශ්‍රී ලාංකික දෙමාපියන්තුල මෙම අභිලාශය ඉතාම තදින් දැකගත හැකිවෙයි. එය ඔවුන් සලකන්නේ ඔවුන්ගෙන් ඉටුවියයුතු අතිශය වැදගත් යුතුකමක් ලෙසටය.වගකීමක් ලෙසටය.

බෙහෝවිට මෙම මානසිකත්වයේ වැදගත්කම ඉංග්‍රීසි ජාතිකයන්ට තේරෙන්නේ නැත.  

ආසියාතිකයින් තම දැරි දැරියන්ගේ නිදහස සීමා කරන බවත්, අනවශ්‍ය නීති රීති පනවන බවත් "ලිං මැඩියන්" ලෙසින් තියා ගැනීමට උත්සාහ කරන බවත් නිතර ඇසෙන අවලාදයකි. එසේනමුත් ආසියාතික තරුණ තරුණියන් දිනාගැනීමට සමත්ව ඇති උසස් අධ්‍යාපන ප්‍රතිඑල සලකා බැලීමේදී ගෙදර දොරෙදී ඔවුනට ලබාදී ඇති සංයමයද ඒ සඳහා හේතු පාදක වන්නට ඉඩ ඇතිබවට තර්ක කරන දෙමව්පියන්ද නැතිවා නොවේ.

මතු යම් දිනයක බ්‍රිතාන්‍යයේ අනාගතය පැවරෙන්නේ මෙවන් විද්වතුන් වෙතටය. එදිනට බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදායික හැඩරුව වෙනස්වීමකට පාත්‍රවීමේ අවදානමක් ඇතැයිද මෙවන් වාර්තා කියවන සමහරු මැසිවිලි දොඩවන අවස්ථාද ඇත.

පසුගිය වසරේ ලන්ඩන්නුවර දරුඋපත් පිලිබඳ වාර්තාවේ දැක්වුයේ වැඩිම දරුවන් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ පෝලන්ත දෙමාපියන්ට බවය. දෙවන තැන පකිස්තාන දෙමව්පියන්ටත්, තුන්වන තැන සෝමාලි දෙමව්පියන්ටත්, හතරවන තැන ඉන්දියානු දෙමාපියන්ටත් හිමිවී තිබුණි. ඉංග්‍රීසි ජාතික දරුඋපත් සංඛ්‍යාව වැටෙන්නේ පස්වන තැනටය.

මීට අඩසිය වසකට පෙර කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට පැමිණි බහුතරයක් වෘත්තිමය සුදුසුකම් ඇති අය වුහ. මේ අතරේ ප්‍රධානම කොටස අයත් වුයේ වෛද්‍ය වෘත්තියටය. සෞඛ්‍යය සේවාවන්හි හෙදි, විකිරණ ශිල්පී හා කායික චිකිත්සා ආදී ක්ෂේත්‍රයන්හි රැකියාවල් සඳහාද බොහෝ දෙනෙක් පැමිණියහ.

ඔවුනට එංගලන්තයේදී සැප පහසු මධ්‍යම පන්තියේ ජීවිතයක් ගතකිරීමේ අවස්තාව හිමිවූ අතර දුදරුවන්හට නිරායාශයෙන්ම හොඳ පෞද්ගලික පාසල්වල ඉගෙනීමේ ඉඩ කඩද ලැබී තිබුණි.

කෙසේ වුවද පසුගිය දශක හතරක පමණ කාලයක සිට විවිධ උපක්‍රම යොදාගෙන වෘත්තිමය සුදුසුකම් නොමැති අයටද එංගලන්තයට සංක්‍රමණය වීමේ අවස්තාව ලැබිණ.

අලුතින් පැමිණි මෙවැන්නන් හට ජීවිතය ගැට ගසා ගැනීම සඳහා ඉමහත් වෙහෙස මහන්සියක් දැරීමට සිදුවිය.

විවධ හේතුන් නිසා මේ බොහෝදෙනා පදිංචිවුයේ ලන්ඩන් නුවර අවටය. ජන ශ්‍රැතියේ කියවෙන "රත්තරං පදික වේදිකාවල් " ලන්ඩන් නුවර දී මේ කිසිවෙකුට හමුවුයේ නැත.

සුළු රැකියා කරමින් මහන්සියෙන් හරිහම්බකරගනිමින් ජීවත්වූ මෙවැන්නන්ගේද එකම සිහිනය වුයේ තම දු දරුවනට තමන් ගත කරන ජීවිතයට වඩා යන්තමින් හෝ හොඳ ජීවිතයක් ලඟා කර ගැනීම සඳහා අත හිත දීමය. එම අති උත්තම පරමාර්ථය සාක්ශාත් කරගැනීම සඳහා ඔවුන් දුටු හොඳම ගැලවුම් මග උසස් අධ්‍යාපනයකට දරුවන් යොමු කරවීමයි.

කඩ සාප්‍පුවල, හෝටල් වල අල්පමාත්‍ර වැටුපකට සුළු රැකියාවන් කලද ඔවුන් වැඩිදෙනෙකුට තම සිහිනය සැබෑකර ගැනීමට හැකිවී තිබේ. මෙය ශ්‍රී ලාංකික සැමදෙනා තුලම උත්පත්තියෙන් පිහිටා ඇති අවංකකම, උට්ඨාන වීර්‍යය, සහ අසීමිත දරු සෙනෙහස කියාපාන කාටත් ආඩම්බරවිය හැකි අගනා ගුණ සමුදායකි.

අර පරෙස්සමෙන් ජීවිත ගෙවමින් තම දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා කැපවීම මුල් තැන තබාගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඊලඟට හිතන්නේ තමන්ගේ තරමට ගැලපෙන නිවහනක් මිලදී ගැනීම  ගැනය. ඉන්පසුව දෛනික අවශ්‍යතාවයන් සපුරාගත හැකි අන්දමේ වාහනයක් මිලදී ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. වෙනත් බොහෝ අයමෙන් තරමට නොගැලපෙන අරුමෝසම් වාහන ගැනීම ශ්‍රී ලාංකිකයන් අතරේ දක්නට ලැබෙන්නේ මද වශයෙනි.

මේ හැම කෙනාම ගතින් එංගලන්තයේ ජීවත්වුවත් හැම තත්පරයකම සිතින් ජීවත්වන්නේ තම මවුරටේය.

අද ලන්ඩනයේ ඔනෑම පළාතකට ගියහොත් හැම කඩ මන්ඩියකම ශ්‍රී ලාංකිකයින්ට අයත් කඩ සාප්පු බොහෝ ගණනක් දැකිය හැකිවෙයි. එමෙන්ම ආනයන අපනයන, දුරකථන පණිවිඩ, නීතිඥ, සන්නිවේදන, සන්නිවේදන තාක්ෂණය, ආපණශාලා, සහ වෙනත් විවිධ ශේස්ත්‍රයන්හි මහා පරිමානයේ සමාගම් හිමි ශ්‍රී ලාංකිකයින් බොහෝදෙනෙක් ද බ්‍රිතාන්‍යයේ සිටිති.

මේ අතරින් වැඩි දෙනා පසුගිය 30 වසරක කාලයක් තුල වෘත්තිමය මට්ටමේ සුදුසුකම් නොමැතිව එංගලන්තයට පැමිණි අය වීමද විශේෂත්වයකි.

ලන්ඩනයේ ප්‍රසිද්ධ කෙරෙන සිංහල, දෙමල සහ ඉංග්‍රීසි භාෂාමය පුවත්පත් බොහෝ ගණනක් ඇත. බ්‍රිතාන්‍යය පුරා බෞද්ධ විහාරාරාම සහ හින්දු කෝවිල් විශාල සංඛ්‍යාවක් ඉදිවී ඇති අතර ශ්‍රී ලාංකික ක්‍රිස්තියානි සහ ඉස්ලාම් බැතිමතුන්ගේ පුද පුජාවන් පැවැත්වෙන පල්ලි ද බොහෝ නගරවල ඇත.

ඊයේ පුවත් පතක මැද පිටුවේ පළකර තිබු ශ්‍රී ලාංකික දරුදැරියන් හොඳම විභාග ප්‍රතිඵල ලබාගැනීම පිලිබඳ ප්‍රවෘත්තිය කියවන විට එහි සඳහන්වූ දෑ පිළිබඳව මාසිත් තුලද නිහතමානී ආඩම්බරයක් ජනිතවුයේ නිරායාසයෙන්මය.

එංගලන්තයට මා පැමිණියේ මේ රටට අත්‍යාවශ්‍යවන අන්දමේ කිසිදු වෘත්තිමය සුදුසුකමක් අතේ තියාගෙන නොවේ.

මෙහි පැමිණ මා මුලින්ම කල රැකියාව වෙළඳ සැලක බඩු අඩුක්කිරීමය. ඉන්පසු කලේ අවන් හලක වේටර් කමකි. එතැනින් ධනවත් වෙළඳ සමාගමක අයිතිකරුගේ රියදුරු ලෙස වැඩ කලෙමි. එම රැකියාවෙන් ලද පන්නරය උපයෝගී කර ගනිමින් මගේ සමීප හිතවතෙකුගේ මාර්ගයෙන් තානාපති වරයෙකුගේ පෞද්ගලික රියදුරුකමක් ලබා ගතිමි. මගේ එංගලන්ත ජීවන ගමන ඇදුනේ ඒ පරිද්දෙනි.

හැම රස්සාවක්ම වැදගත් ලෙසත් ඒවායේ යෙදී ඉන්නන් සම තත්වයේ අය ලෙසත් සලකන ඉංග්‍රීසි ජාතිකයන් තුල මෙවන් රැකියාවන්හි යෙදී ඉන්නන් කෙරෙහි අඩු තක්සේරුවක් නොතිබුනත් ඉහල පෙලැන්තියේ ශ්‍රී ලාංකිකයින් එවැන්නන් කෙරෙහි දක්වන්නේ අමුතු ආකල්පයකි. ඒ හේතුවෙන් මටනම් කිසි අඩුපාඩුවක් සිදුවුයේ නැත.

මා ජන්මයෙන්ම උරුම කරගෙන ආ පර උපකාරය එංගලන්තයට ආහේතුවෙන් මා සිතින් හලා දැමීමට අසමත් වුවත්, මේ සියලු කාල සීමාවන්තුල මා හරි හම්බකල හැම ශතයක්ම යෙදවූයේ අපගේ දරුවන් දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහාය. ඔවුන් ලන්ඩන් නුවර හොඳම පෞද්ගලික පාසල් දෙකකට යැවීමට අපට හැකිවිය.  අද ඔක්ස්ෆර්ඩ් නගරයේ ජීවත්වන අපගේ දියණිය එංගලන්තයේ ඉහලමපෙලේ ළදරු රෝහලක ප්‍රවීණෝපදේශක ළදරු රෝග විශේෂඥවරියකි. අනෙක් දරුවා ලන්ඩනයේ තමාගේම සාර්ථක වෙළඳ ව්‍යාපාරයක හිමිකරුවෙක් සේම මාගෙන් උගත් කැමරා කරණය භාවිතා කරමින් ස්වාධීන නිෂ්පාදන බිහිකරන්නෙකි.

එංගලන්තයට පැමිණීමෙන් අප ලැබූ ජයග්‍රහණය එයයි.

විදේශයන් යනු අපගේ හිතේ හැටියට ජීවත්වියහැකි තැන් නොවේ. අපේම යැයි කිවහැකි දෙයක්, අපේම යැයි කිව හැකි ගතියක් මේ රටවල නොමැත. ඉතින් කොයි කාලාන්තරයක් ජීවත්වුවත් නුහුරු නුපුරුදු ඈත දුරු ප්‍රාන්තයක සාංකාවෙන් කාලය ගෙවන අප සතු මහාර්ඝ සම්පතක් ඇත. ඒ අපගේ දුවා දරුවන්ය. ඔවුන් රජ කරවනවාට වඩා වෙනත් ජයග්‍රහණයක් අපට අවශ්‍යවේද?

එංගලන්තයේ පමණක් නොව ලොව කොයි දීපන්කරයක ජීවත්වුවත් ශ්‍රී ලාංකික දෙමාපියන් තුල ඇත්තේ මේ උත්තම අභිප්‍රායයි.

ඔවුන්ගේ දුවා දරුවන් ලොව ජය කෙහෙළි නංවන්නේ මේ අසාමාන්‍ය ජාන ගුණය නිසාය.


Disclaimer: Sri Express does not endorse or adhere to views or opinions expressed in the articles posted. This is purely an information site, to inform interested parties of sri lankans around the world. Photos and other content materials posted at SriExpress might be from other websites, the legal copyrights of those content belong to the actual owners. Using or re posting any content without prior written consent of copyright owners is not permitted. Publisher have taken every effort to acknowledge the copyright owners where possible, but there might be some missing out. If you feel any of your copyrighted material is seen without acknowledgement, email us at This email address is being protected from spambots. You need JavaScript enabled to view it.. We will remove them immediately from the site.

Share this article

Submit to Facebook Google+ +1 Button Submit to StumbleuponSubmit to TwitterSubmit to LinkedIn
Template Settings
Select color sample for all params
Red Blue Green Black Yellow
Background Color
Text color
Google font
Body font-size
Body font-family
Direction